Home / World News / උඩු යටිකුරු වන යුරෝපා දේශපාලන සිතියම
උඩු යටිකුරු වන යුරෝපා දේශපාලන සිතියම

උඩු යටිකුරු වන යුරෝපා දේශපාලන සිතියම

පහතින් දැක්වෙනුයේ පසුගිය ජනවාරි 24-30 කාලය තුළ බෙල්ජියමේ පැවැත්වුණු කම්කරු ජාත්‍යන්තරයක් සදහා කමිටුවේ(CWI) ලෝක සම්මේලනයේදී ‘යුරෝපය’ පිළිබදව පැවැත්වූ සමස්ත සාකච්ඡාවේ සාරාංශයකි. ඉතා සාර්ථක ලෙස පුරා සතියක කාලයක් පැවැත්වුණු මෙම සම්මේලනයට රටවල් 34 ක් නියෝජනය කරමින් නියෝජිතයින් 125 ක් සම්බන්ධ විය. එංගලන්තයේ හා වේල්සයේ CWI ශාඛාව වන ‘සමාජවාදී පක්ෂයේ'(Socialist Party) සාරා ව්රැක්(Sarah Wrack) විසින් මෙම ලේඛනය සාරාංශගත කර ඇත.

‘අක්ෂය’ අපි මෙම ලේඛනය පරිවර්තනය කර පළකිරීමට තීරණය කළේ කරුණු කිහිපයක් හේතුවෙනි. පළමුවැන්න නම් මෙම ලේඛනය හරහා මේ මොහොතේ සමස්ත යුරෝපයේ දේශපාලන තත්වය හා ඒ තුළ වාමාංශික ක්‍රියාකාරීත්වය පිළිබද සංක්ෂිප්ත විවරණයක් සිදු කිරීමයි. දෙවැන්න නම් වර්තමාන ලංකාවේ, බහුතරයක් වාමාංශික පක්ෂ හා වාමාංශිකයන් ජාත්‍යන්තරවාදය මත පදනම්ව, ජාත්‍යන්තර පක්ෂයක් තුළ කටයුතු කිරීමේ අත්දැකීම් අවම තත්වයක් තුළ එවැන්නක ක්‍රියාකාරීත්වය සිදුවන්නේ කෙසේදැයි සජීවී අත්දැකීමක් මේ තුළින් එකතු කරගත හැකි වීමයි. තුන්වැන්න නම් තවමත් ආචීර්ණ කල්පිත අදහස් මත පදනම්වෙමින් ‘අනවශ්‍ය රහසිගතභාවයක්’ රකිමින් ගුප්ත ලෙස සම්මේලන පවත්වන ලංකාවේ වාමාංශික පක්ෂයන්ට හා ඒවායේ සාමාජිකයන්ට මේ දූපතෙන් එහා ලෝකයේ මාක්ස්වාදය මත පදනම් වූ වාමාංශික ව්‍යාපාරයන් සම්මේලනයන් පවත්වන ආකාරය හා ක්‍රමවේදයන් පිළිබද දළ අදහසක් මෙමගින් එකතු කිරීමයි.

***

සහන කප්පාදු වැඩපිළිවෙළ කෙරෙහි එල්ල වන ශ‍්‍රමිකයන්ගේ විරෝධය හමුවේ ධනපති ක‍්‍රමය තව තවත් පැහැදිලි කිරීම සොයා යාම

කම්කරු ජාත්‍යන්තරයක් සදහා වන කමිටුවේ 11 වන ලෝක සම්මේලනයේදී යුරෝපය ගැන පැවති සාකච්ඡාවෙන්ද පැහැදිලි වූයේ,අපි මේ ගත කරමින් සිටින දේශපාලන මොහොත වන විට මුලු යුරෝපා මහාද්වීපය පුරාමත්,ඉන් ඔබ්බෙහිත් පවතින ඉක්මනින් වෙනස්වනසුලු අසහනකාරීත්වයයි.

අන්තර්ජාතික ලේකම් මණ්ඩලයේ සාමාජිකයකු වන, හැනා සෙල් (Hannah Sell) මූලික වටයේ ඉදිරිපත් කිරීම සිදුකළ අතර අනතුරුව, කම්කරු ජාත්‍යන්තරයක් සදහා වන කමිටුවේ ලේකම්, ටෝනි සෝනොයිස් (Tony Saunois) විසින් ප‍්‍රතිචාර දැක්වීම සිදුකරන ලදී.

බොහෝ රටවල මෙතෙක් පැවති දේශපාලන පක්ෂ දැවැන්ත කැළඹීම්වලට ලක්වී ඇති බවත්,ඒවාට තිබුණු ජනතා සහයෝගය දුර්වල වී ඇති අතරඑම පක්ෂ කඩා වැටීම් හෝ කැබලි වලට බෙදී යාමක් දැකගත හැකි බවත්, මේ වන විට එය යුරෝපයටම පොදු කාරණයක් බවත් හැනා විසින් පෙන්වා දෙනු ලැබීය. උදාහරණයක් ලෙස ස්පාඤ්ඤයේ දක්ෂිණාංශික දේශපාලන පක්ෂ පසුගියදා පැවැත්වූ මැතිවරණයේදී පෙරට වඩා මිලියන 3.6 ක ඡන්ද ප‍්‍රමාණයක් අඩුවෙන් ලබාගැනීමත්,කිසිදු පක්ෂයකට තනිවම ආණ්ඩුවක් තැනීමට නොහැකි වීමත් සදහන් කරන ලදී.

එමෙන්ම, ගොන්සාලෝ රොමෙයිරෝ(Goncalo Romeiro) විසින් පැහැදිලි කළ පරිදි, පෘතුගාලයේ පසුගිය ඔක්තෝම්බරයේදී දක්ෂිණාංශික ආණ්ඩුවක් මැතිවරණයෙන් බලයට පත්වුවද ඔවුනට තම බලය තහවුරු කරගැනීමට නොහැකි වීම නිසා සතියක් වැනි කාලයක් තුළදී බිද වැටිණි. ඊළගට ගොඩනැගුනේ ‘සමාජවාදී’ පක්ෂයේ ආණ්ඩුවකි. මෙම ආණ්ඩුවට වාමාංශික දේශපාලන පක්ෂ වල සහයෝගය හිමිවූ නමුත් ඔවුන් නව ආණ්ඩුව සමග සෘජුව සම්බන්ධ නොවීය.

බි‍්‍රතාන්‍යයේදී කෙසේ හෝ බලාපොරොත්තු නොවූ ලෙස ටෝරිවාදීන්(කන්සවේටිව් පක්ෂය) බහුතරයක් ලබා ගත්තද, ඔවුන්ට ලබාගත හැකි වූයේ සමස්ත ඡන්ද ප‍්‍රමාණයෙන් 24% ක් පමණි.

සීසයිල් එටර්නෝව්න්(Cecile Etternavn) වාර්තා කළ පරිදි,ප‍්‍රංශයේ ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්දයෙන් එරට ජනතාවගෙන් 75% කගේ පමණ අදහස වන්නේ,ප‍්‍රධාන අපේක්ෂකයින් තිදෙනා වන ල පෙන්, ඔලොන්ද් හා සාකෝසි යන තිදෙනාගෙන් කිසිවකු ගැනවත් සෑහීමකට පත්විය නොහැකි බවයි.

මෙම කි‍්‍රයාවලිය හරහා මැතිවරණ පිළිබදව විවෘත අදහසක් නිර්මාණය කර ඇත. එමෙන්ම මෙම වේගවත් ධ‍්‍රැවීකරණය හමුවේ වාමාංශික හා දක්ෂිණාංශික යන දේශපාලන ධාරාවන් දෙකෙහිම ජනප‍්‍රියවාදී අදහස් වලට වැඩි ඉඩකඩක් හිමිවෙමින් තිබේ. එය හැනා පවසන පරිදි නම් ‘විප්ලවය හා ප‍්‍රතිවිප්ලවය එකවර – එකට වර්ධනය වීමකි.’

නමුත් මේ සියල්ල මධ්‍යයේ කම්කරු පන්තියේ (working class) තත්වයන් තිබෙන්නේ මෙම ධාරාවන් දෙකටම වඩා පසුපසිනි. ආණ්ඩුවල සහ ආයතන ප‍්‍රධානීන්ගේ ‘යහපත් දිශාවට වර්ධනය වීම’ පිළිබද බොරු වගාඩම්බර නොතකමින්, ආර්ථික අර්බුදය තර්ජනාත්මක ලෙසත්, අඛණ්ඩවත් වර්ධනය වෙමින් තිබේ. කම්කරු පන්තියේ ජනතාවගේ අඩු වැටුප්, විරැකියාව හා ආහාර හිගය කිසිදු සංඛ්‍යාන දත්තයකින් වසන් කිරීමට නොහැකි වී තිබේ. එමෙන්ම මධ්‍යම පාන්තික කොටස් ක‍්‍රමානුකූලව මෙම තත්වයට ඇද දැමීම ඉහළ යන අයුරු ටෝනි විසින් පැහැදිලි කළේ එංගලන්තයේ කනිෂ්ඨ වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය උදාහරණයට ගනිමිනි. සාම්ප‍්‍රදායිකව තරමක් ඉහළ සමාජ තත්වයක් හා ‘වැදගත්කමක්’ හිමිව තිබෙන වෘත්තිකයන්ටද පාලක පන්තියේ ආණ්ඩු කරන පක්ෂ මගින් එල්ල කරන ප‍්‍රහාරයේ ප‍්‍රතිඵලයක් ලෙස ඔහු එම වර්ජනය හදුන්වා දෙන ලදී.

එමෙන්ම,මෙම තත්වයන් හමුවේ දක්ෂිණාංශයට බලකෙරී ඇත්තේ සිය නව නාසිවාදී මූලයන් සගවාගනිමින්, ඒ වෙනුවට වාමාංශික හෝ තම කම්කරු පාන්තික සබදතා ගැන බොරු ප‍්‍රලාප වැපිරවීමටයි. උදාහරණයක් ලෙස ජාතිකවාදී ප‍්‍රංශ ජාතික පෙරමුණ සහ එහි ජනාධිපති අපේක්ෂිකා මරීන් ල පෙන්(Marine Le Pen) ප‍්‍රංශ ජාතික පෙරමුණේ හිටපු නායකයකු හා එළිපිටම කටයුතු කළ නව නාසිවාදී දේශපාලකයකු වන ඇයගේ පියාගෙන් තමන් දුරස්බව ප‍්‍රසිද්ධියේ පෙන්වීමට සිදුකරන උත්සාහය දැක්විය හැකිය.

වාමාංශයේ වර්ධනය

නමුත්, අපි මේ සම්බන්ධව දැනුවත් කරමින්, ධනේශ්වරය මගින් එල්ල කරන තර්ජනයට එරෙහිව සංවිධානය වන අතරතුර මුහුණ දෙන ප‍්‍රධානතම ගැටලුව නම්, කම්කරු පන්තිය නිවැරදි දිශාවට ප්‍රබල ලෙස හැරවිය හැකි හා විශ්වාසනීය වාම විකල්පයක් පවතින්නේ කොතැනද යන්නයි. ස්පාඤ්ඤයේ ආසන්න මැතිවරණයේදී, ‘පොදෙමෝස්’ සංවිධානය මිලියන 05 ක්ද ‘ඉස්ක්විර්දා යුනිදා/එක්සත් වම’ (United Left) ආසන්න වශයෙන් මිලියනයක්ද වශයෙන්ද ඡන්ද ලබා ගත්හ. ඩැනී බය(ර්)න්(Danny Byrne) ට අනුව පොදෙමෝස් සංවිධානය එතරම් ඡන්ද ප‍්‍රමාණයක් ලබා ගත්තේද ඔවුන්ට තිබුණු සහයෝගය දුර්වල වෙමින් පැවති මොහොතකදීය. එමෙන්ම මෙම මැතිවරණ කි‍්‍රයාවලිය තුළදී දක්ෂිණාංශික පක්ෂ වල මුලු අවධානයම යොමුව තිබුණේ පොදෙමෝස් ඇතුලු රැඩිකල්වාදයට එරෙහිව මතයක් ගොඩනැගීම කෙරෙහිය. මෙම මැතිවරණයේදී ප‍්‍රධාන ගැටුම පැවතියේ එම පැරණි ක‍්‍රමය සහ නව ක‍්‍රමය අතරය. නමුත් මැතිවරණයෙන් පසුව එළඹෙන කාල පරිච්ඡේදයේදී උත්සන්නවන අරගලය හරහා මෙන්ම, පැරණි පාලන තන්ත‍්‍රයන්ට යළි ඒ ලෙසින් ස්ථාපිත වීමට නොහැකි වීම හරහාද එම ජනරැල්ල නැවතත් පොදෙමෝස් වැනි සංවිධාන වටා එකතු වනු ඇත.

එමෙන්ම පෘතුගාලයේ ‘වාම එකතුව’(Left Bloc) ද නැවතත් රැඩිකල් තරුණ කොටස් ආකර්ශනය කරගනිමින් වර්ධනය වෙමින් සිටී. පෝලන්තයේ නියෝජිත කැස්පර් ප්ලූටා(Kacper Pluta) වාර්තා කළේ ‘රසෙම්'(Razem)/ ‘වාමාංශික බලයක්’ නම් සංවිධානය දැනටමත් සාමාජිකයන් 5000 ක්ද, මැතිවරණයේදී 3.6% ක ප‍්‍රතිශතයක්ද ලබාගෙන සිටින නමුත්, තවමත් කම්කරු පාන්තික කොටස් අතර සැලකිය යුතු බලපෑමක් සිදුකිරීමට ඔවුන්ට නොහැකිවී ඇති බවයි.

මෙම ප‍්‍රවණතාවය ඇතැම් විට පවතින පක්ෂ තුළ බහුජනයා වාමාංශය වෙතට තල්ලු කරන අවස්ථාවන්ගෙන්ද ප‍්‍රකාශයට පත්විය. උදාහරණයක් ලෙස බි‍්‍රතාන්‍ය ලේබර් පක්ෂය තුළ සිදුවූ ‘කෝබින්’ ගේ දේශපාලන භූකම්පනය දැක්විය හැකිය. කම්කරු පන්තියේ නැග එන දේශපාලන අනුනාදයන් පිළිබද සාකච්ඡාවේදී වෙනත් කිසිවෙකු හෝ මෙම නිශ්චිත විභවය පෙර දැක්කේ නැත. නමුත් කම්කරු ජාත්‍යන්තරයක් සදහා වන කමිටුව(CWI) සෑම විටකම එවන් පෙර දැක්මක් සහිතව කටයුතු කරන ලදී. මේ වන විට ‘කෝබින්’ ලේබර් පක්ෂය තුළ පවතින ‘අභයන්තර යුද්ධයේ’ දෙපාර්ශ්වයෙන් එක් පාර්ශ්වයක නායකයෙක් වන නමුත් තවමත් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂයේ(parliamentary party) සහ පක්ෂ යාන්ත‍්‍රණයේ බහුතරයක පාලනය පවතින්නේ දක්ෂිණාංශික පිරිස් අතය.

ලේබර් පක්ෂයෙන් පිටත සිටින තත්වයක් තුළදී, සමාජවාදී පක්ෂය (එංගලන්තය හා වේල්සය) විසින් මෙම අවස්ථාවන්හිදී බලපෑම් කිරීම් හා දේශපාලන මැදිහත්වීම් සිදුකරන ආකාරය සාරා සැෂ් – එල්ඩි‍්‍රජ් (Sarah Sachs-Eldridge) විසින් පැහැදිලි කරනු ලැබීය. සුබසාධන කප්පාදුවට එරෙහිව හා ලේබර් පක්ෂය පූර්ණ වශයෙන් පරිවර්තනයකට බ`දුන් කිරීම සදහා වන ව්‍යාපාරයකට අවශ්‍ය උපක‍්‍රමික පැහැදිලි කිරීම සැපයීමට එය ඉවහල් වුණි. සමාජවාදී පක්ෂයේ පූර්වගාමී සංවිධානය වූ ‘මිලිටන්ට්’ කණ්ඩායම ලේබර් පක්ෂය තුළ සිදුකළ ඓතිහාසික භූමිකාව සහ මෑත කාලීනව, මැතිවරණවලදී සුබසාධන කප්පාදුවට එරෙහිවන අපේක්ෂකයින් වෙනුවෙන් පෙනී සිටීමට වෘත්තීය සමිති හා සමාජවාදී එකමුතුව (Trade union and socialist coalition) තුළ කටයුතු කිරීම දේශපාලනික වශයෙන් නිශ්චිතව සහසම්බන්ධිතය.

කම්කරු ජාත්‍යන්තරයක් සදහා වන කමිටුව ඕනෑම තැනකදී මෙම අරගලයන්හි ආරම්භක හා පුරෝගාමී භූමිකාවක නිරත වනු ඇත. උදාහරණයක් ලෙස අයර්ලන්තයේ තම නියෝජිත සංඛ්‍යාව ඉහළ දැමීමේ ඉළක්කයක් සහිතව මහ මැතිවරණ ව්‍යාපාරයට ඇතුල් වී සිටින සුබසාධන කප්පාදුවට එරෙහි සන්ධානය(Anti-Austerity Alliance/AAA) දැක්විය හැකිය. ලෝරා ෆිට්ස්ගෙරල්ඩ්(Laura Fitzgerald) මෙම අභියෝගය අප හමුවේ තැබුවේ සියලු ‘ප‍්‍රධාන’ දේශපාලන පක්ෂ කම්කරු පන්තියේ දැක්ම විනාශ කරමින් සිටින, ගබ්සාව තහනම් කිරීම ඇතුලු ස්ථාපිතයන්ට එරෙහිව මෙන්ම විවිධ ශ‍්‍රමික කොටස් අතරද අරගලයන් පැන නැගී ඇති සන්දර්භයක් තුළදීය.
(ලිපිය පරිිවර්තනය කරන මොහොත වන විට අයර්ලන්ත මැතිවරණයේ ප්‍රතිපල නිකුත් වී ඇති අතර ‘සුබසාධන කප්පාදුවට එරෙහි සන්ධානය’ ආසන 4 ක් දිනාගෙන ඇත. ඉන් ආසන 3 ක් දිනා ගෙන ඇත්තේ අයර්ලන්ත සමාජවාදී පක්ෂයයි. – පරිවර්තක)

නමුත් බොහෝ අවස්ථාවන්හිදී මෙම බලඇණි වල දේශපාලන නායකත්වය සපයන්නේ CWI ජාත්‍යන්තරයේ පක්ෂවල සාමාජිකයන් විසින් නොවේ. ඒ වෙනුවට අතීතයේ සිටි ප‍්‍රතිසංස්කරණවාදීන් හා සසදන කළ පවා අතිශයින් දුර්වල, ඉක්මණින්ම සටන පාවා දීමේ ලක්ෂණ සහිත දේශපාලන ප‍්‍රවණතාවයන් ඉදිරියට පැනීමක් දැකගත හැකිය. මෙම තත්වය ග‍්‍රීසියේ ‘සිරීසා’ හි පාවාදීමෙන් සහ බි‍්‍රතාන්‍යය තුළ කෝබින්ගේ ඇතැම් පසුබැසීම් තුළින් හදුනාගත හැකිය.

cwi3

සංක‍්‍රමණික ගැටලුව

කෙසේ වුවත් කම්කරු පන්තියෙන් සහ බහුජන ව්‍යාපාරවලින් එල්ල කරන බලපෑම යටතේ, මෙම දේහයන් සහ සංවිධාන මේ වන විට ඒවා සූදානම්ව ඇති දුරට වඩා වැඩි දුරක් යාම සදහා බලපෑම් කළ හැකිය. එමෙන්ම, මෙය දක්ෂිණාංශක ආණ්ඩු සදහාද බලපාන කරුණකි. උදාහරණයක් ලෙස ජර්මනියේ මර්කල්(Merkel) සංක‍්‍රමණික කම්කරුවන් ජර්මානු ධනේශ්වරයේ පැවැත්මට අවශ්‍ය බව දනියි. නමුත් එල්ල වී ඇති පීඩනය යටතේ තවමත් එය විවෘතව ප‍්‍රකාශයට පත් කරන්නේ නැත.

මෙහිදී හැනා විසින් යුරෝපීය පාලක පන්තියට මුහුණ දිමට ඇති විවිධාකාර වූ දෝෂයන් ගැන කෙටි පැහැදිලි කිරීමක් සිදුකරන ලදී. විශේෂයෙන් චීනයේ ආර්ථිකය මන්දගාමී වී ඇති සන්දර්භයක් තුළමෙය ආර්ථික අර්බුදයේ නව අදියරක් පමණක් නොවන අතර 2007-2008 විනාශයෙන් පසු මුහුණදුන් අසීරු තත්වයට හා ඉන් ජනිත වූ, තවමත් පවතින මෙවලම් සමග ගනුදෙනු බේරා ගැනීමටද ඔවුන්ට සිදුවී ඇත.

ජාතික ගැටලුව හා රාජ්‍යයන් අතර ආතතියද ඉහළ ගොස් ඇත. අනෙක් අතට සයිප‍්‍රසයේ නියෝජිත ඇතීනා කරියාටි(Athina Kariati) පැහැදිලි කළ පරිදි, සයිප‍්‍රසයේ උතුරු හා දකුණු කොටස් දෙකේම ප‍්‍රධාන ධනේශ්වර පක්ෂ දිවයින මුලුල්ලේ කටයුතු කළ හැකි රාජ්‍යතාන්ත‍්‍රික සබදතා ගොඩනගන නව ව්‍යවස්ථාවක් පිළිබදව අපේක්ෂාවකට ප‍්‍රමුඛත්වය දී ඇති බවද සදහන් කළාය. මෙය විශාල ගැටලු ප‍්‍රමාණයකට මුහුණ දෙමින් තිබෙන අතර, ධනේශ්වර පදනමක් මත මෙම කි‍්‍රයාවලිය කෙතරම් දුරක් ගෙන යා හැකිද යන ගැටලුව අප හමුවේ තබා ඇත. ජාතික බෙදුම් රේඛා ධනේශ්වරය තුළදී මුලුමනින්ම අතික‍්‍රමණය කළ නොහැකි අතර අනිවාර්යයෙන්ම පසු කලෙක දැවැන්ත වන්දි ගෙවීමක් සහිතව යළිත් ඒවා මතුවීමේ අවධානම එලෙසම පවතී.

පශ්චාත් – ස්වාධීන යුගයේ පැවැත්වුණු ජනමත විචාරණය විසින් දේශපාලනික ස්කොට්ලන්ත භූමිභාගය රැඩිකල් වෙනසකට ලක්කර ඇත. නමුත් ස්කොට්ලන්ත ශාඛාවේ නියෝජිත පිලිප් ස්කොට්(Philip Stott) පෙන්වා දෙනු ලැබුවේ ජාතික ගැටලුව කෙරෙහි තිබෙන නිශ්ශබ්දතාවයෙන් ඉදිරියට ගොස් පැවැත්විය යුතු දෙවන ජනමත විචාරණය තවමත් ඉතිරිව ඇති බවයි.

ජාතික ගැටළුව

වර්තමානයේ බොහෝ අවස්ථාවලදී, ‘ජාතික ගැටළුව’ පිළිබද සාකච්ඡාව හා අරගලය උත්ථානය වීමට ප්‍රධාන හේතුවක් ලෙස හදුනා ගත හැක්කේ, ‘ජාතික නිදහස’ දිනා ගැනීම හරහා රජයන් ගෙනයන කප්පාදු වැඩපිළිවෙළට විරුද්ධ වීමට තමන්ට වැඩි බලයක් හිමි වනු ඇතැයි පීඩිත ජන කොටස් විසින් කල්පනා කරනු ලැබීමයි. නමුත් එරික් බයිල්(Eric Byl)පැහැදිලි කළේ බෙල්ජියමේදී මෙහි තවත් පැත්තක් තිබෙන බවයි. එනම්, කප්පාදු වැඩපිළිවෙළයන් වඩාත් සාර්ථක ලෙස ක්‍රියාත්මක කළ හැක්කේ, ජාතික මට්ටමෙන්ද නැතිනම් බලය බෙදා හැරි ෆෙඩරල් ව්‍යුහයන් තුළද යන කරුණ මත ධනපතියන් හා මධ්‍යම පාන්තිකයන් මතවාදීව බෙදී සිටින බවයි.

ලෙනී ෂේයිල්(Lenny Shail) පැහැදිලි කළේ බ්‍රිතාන්‍යයෙහි පැවැත්වීමට නියමිත ‘යුරෝපා සංගමය තළ තම සාමාජිකත්වය යළි සලකා බැලීම’ සදහා වන ජනමතවිචාරණය විසින් යුරෝපයේ(හා බ්‍රිතාන්‍ය තුළද) පාලක පන්තිය බිය ගන්වා ඇති ආකාරයයි. ඒ මේ වන විට පවතින සංස්ථාපිතයේ බහුතර මතය තව දුරටත් යුරෝපා සංගමයේ සිටීම සදහා වුවත්, යුරෝපා සංගමයෙන් වෙන් විය යුතු බව ප්‍රකාශ කරන සාම්ප්‍රදායික ‘ටෝරිවාදීන්’ගේ හඩද සුළුපටු නොවන නිසයි.

එමෙන්ම නැගෙනහිර යුරෝපියානු කලාපය තුළ මෙන්ම නැගෙනහිර යුරෝපය සම්බන්දවද තවමත් පවතින්නේ දැඩි ආතතිකාරී තත්වයකි. රොබ් ජෝන්ස්(Rob Jones) වාර්තා කළේ යුක්‍රේනය තුළ ඇතිවී තිබෙන තත්වය විසින් හා රුසියාව තුළ පවත්වාගෙන යන දැඩි අනතුරුදායක ජාතිකවාදී, බටහිර විරෝධී වැඩපිළිවෙළ හේතුවෙන් පූටින්ට විශාල සහයක් ලැබී ඇති බවයි. එමෙන්ම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල හිගකම මෙන්ම අහස උසට නැගී ඇති උද්ධමනයද ‘ක්‍රිමියාව’ යළි ඈදාගැනීමේ ක්‍රියාවලිය හා සම්බන්ද බවයි. ක්‍රිමියාවේ පවතින්නේ ඉතාමත් නරක තත්වයක් වන අතර, මේ වන විට යාන්තමින් විදුලි බලය යතාතත්වයට පත් කර ඇති නමුත් බැංකු සේවාව මුළුමනින්ම බිදවැටී පවතී. එබැවින් මෙම ‘දේශප්‍රේමය’ විසින් ඉතා පහසුවෙන් විශාල ජීවිත හා දේපළ හානි ඇති කරන බව පැහැදිලි වී තිබේ.

යුරෝකලාපයෙන් ග්‍රීසිය, ඉතාලිය, පෘතුගාලය, ස්පාඤ්ඤය ආදියට එල්ල වන බලපෑමද එලෙසමය. මේ මගින් නැවතත් යුරෝපා සංගමය, එහි දැනට තිබෙන ව්‍යුහයෙන් බිදී යාමේ අවධානමක් ඇතිවී තිබේ. පසුගිය ග්‍රීසියේ ඓතිහාසික ජනමතවිචාරණයේදී පාලක පන්තිය එවැනි බලාපොරොත්තු විරහිත භාවයකට ඇද වැටුනේ එබැවිනි.(කෙසේ නමුත් කප්පාදු වැඩපිළිවෙළට විරුද්ධව ජයග්‍රහණයක් ලැබූ එම ජනමතවිචාරණයෙන් පසුද ග්‍රීක ආණ්ඩුව නව කප්පාදු කෙටුම්පතක් ක්‍රියාත්මක කරමින් සිටී.) එම අවස්ථාවේ විශාල ජනකායක් අධිෂ්ඨානසහගතව, යුරෝපය මේ පිළිබදව කුමන ආකාරයේ ඉදිරි පියවරක් ගනීද යන්න ගැන කිසිදු තැවුලකින් තොරව, කප්පාදු වැඩපිළිවෙළ ජනමතවිචාරණය තුළින් පරාජය කිරීමට පෙළ ගැසී සිටි අයුරුත්, එම අවස්ථාවේ පාලක ‘සිරීසා’ පක්ෂය මේ සම්බන්ධයෙන් කිසිත් නොකර නිළ වශයෙන්ම කප්පාදු වැඩපිළිවෙළට එරෙහිවීමට නොකැමැත්ත පළකළ අයුරුත් නිකොස් කනෙල්ලිස් (Nikos Kanellis) විසින් සම්මේලනයට යළි සිහිපත් කරනු ලැබුවේය. එමෙන්ම ජනමත විමසුම අවසන් වත්ම අගමැති ‘සිප්රාස්’ ට්‍රොයිකාව හමුවේ කොන්දේසි විරහිතව තම යටත්වීම ප්‍රකාශයට පත් කරනු ලැබුණි. (ට්‍රොයිකාව යනු මේ වනවිට යුරෝපයේ ධනපති ක්‍රමයේ ඉහළම සංස්ථාපිතයන් වන යුරෝපා සංගමය, යුරෝපා බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යන ආයතන ත්‍රිත්වයයි.)

සරණාගත අර්බුදය

සරණාගත ජනතාව නිසා ඇතිවී ඇති ගැටළුව බොහෝ විට වර්තමානයෙහි යුරෝපා සංගමයට තර්ජනයක් එල්ල කරන මට්ටමේ පවතී. මෙය යුද්ධයෙන් බිදවැටුණු තම නිවෙස් හා රට හැරදමා, බලාපොරොත්තු විරහිත ලෙස, දිවි පරදුවට තබමින් බෝට්ටුවල නැගීගෙන පැමිණෙන කම්කරු පන්තියේ හා සෙසු දිළිදු ජනයාගේ ජීවන අර්බුදයකි. එමෙන්ම මේ සදහා කිසිදු ස්ථිර විසදුමක් නොමැති ධනපති පන්තියටද මෙය අර්බුදයක් බවට පත්වී තිබේ.

ටෝනි විසින් පෙන්වා දෙනු ලැබූ පරිදි, මෙසේ විශාල වශයෙන් පැමිණෙන සියළුම සරණාගත කොටස් ඇතුළු කරගැනීමට යුරෝපා සංගමයට නොහැකිවාක් මෙන්ම ඔවුන්ගේ පැමිණීම නැවැත්වීමට යුරෝපා සංගමයට හැකියාවක් නැත. එමෙන්ම ලෝකයේ වෙනත් ප්‍රදේශවල තවදුරටත් සිදුවන ආර්ථීක හා දේශපාලනික කැළඹීම් හමුවේ තව තවත් සරණාගත කොටස් බිහිවීම තුළින් මෙම තත්වය වඩාත් තීව්‍ර විය හැකිය.

ජර්මන් CWI ශාඛාවෙහි නියෝජිත ලුසී රෙඩ්ලර්(Lucy Redler) ප්‍රකාශ කළේ ධනපති පන්තියට සරණාගත ජනතාව පැමිණීම වළක්වමින් දේශසීමා වසා දැමිය නොහැකිවාක් මෙන්ම මෙම අර්බුදයේ දැවැන්ත පරිමාණය නිසාම විශාල වූ දේශපාලන පීඩනයකටද මුහුණ දීමට සිදුව ඇති බවයි. එම නිසාම දක්ෂිණාංශික පක්ෂ වල විවිධ කොටස් උඩට මතුවෙමින් සිටින බවයි.

මෙම තත්වය හමුවේ යුරෝපීය ජනයාගේ ප්‍රතිචාරය විවිධ ලෙස දිශාගත වෙමින් තිබේ. එහිදී සහජාසයානුගත ජාත්‍යන්තර සහෝදරත්වයක් පළකිරීම විශිෂ්ට ලක්ෂණයකි. නමුත් උදාහරණයක් ලෙස ගතහොත් ග්‍රීසියේදී පසුගිය ගිම්භාන කාලය පුරාවට පැමිණෙන සරණාගත ජනතාවට උපකාර කළ ඇතැම් ග්‍රීක ජනතා කොටස්ම, මේ වනවිට විශාල වශයෙන් සරණාගතයින් පැමිණීම හා සම්පත් වල හිගකම පිළිබදව කරුණු දක්වමින් පසුතැවිල්ලක් ප්‍රකාශ කරමින් සිටී. ග්‍රීසිය යනු යෝධ ‘රදවාගැනීමේ කදවුරක්’ – සිරකදවුරක් – මෙන්ම සරණාගතයින් පැමිණි වහා කොටු කරගන්නා යමක් ලෙස සරදම් කිරීම දක්වා මෙම තත්වය වර්ධනය වී ඇත.

මෙවැනි ම්ලේච්ඡ සහ අනතුරුදායක අදහස් වලට එරෙහිව සටන් කිරීමේදී සමාජවාදීන් විශාල කම්කරු කොටස් සංවිධානය කරමින්, ජාතිවාදයට එරෙහි ව්‍යාපාර ගොඩනගමින් මෙම සටනට නායකත්වය ලබාදිය යුතුය. මේ වන විටත් එවැනි සහෝදරත්වය පළකිරීමේ ව්‍යාපාර, පෙළපාලි හා ක්‍රියාකාරකම් බොහෝ ප්‍රමාණයක් පවත්වා ඇත. නමුත් ඔස්ට්‍රියාවේ නියෝජිත සබස්තියන් කුග්ලර්(Sabastian Kugler) ප්‍රකාශ කළේ “මෙහිදී අප හට ආචාරධර්ම වලට වඩා වැඩි යමක් අවශ්‍යයි” යන්නයි. දක්ෂිණාංශයේ මුසාව හෙළදරව් කරන සහ අනතුර පෙන්වා දෙන ‘සමාජවාදී වැඩපිළිවෙලක්’ අවශ්‍ය බව ඔහු ප්‍රකාශ කරන ලදී.

ඔහුගේ නිගමනයට අනුව, ටෝනි විසින් පෙන්වා දෙනු ලැබුවේ මේ සියළු කාරණා හමුවේ පෙන්නුම් කරමින් සිටින්නේ යුරෝපා සංගමය බිද වැටීම දෙසට වැටී ඇති කරුණු බවයි. නමුත් එය බොහෝ දෙනා සිතා සිටින ආකාරයේ ක්ෂණික බිද වැටීමක් නොවන බවත් ඔහු සදහන් කරන ලදී. එහිදී සිදුවීම් මාලාවන් දාමයක් එළියට ඇද දැමීමෙන් පසු සිදුවන ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියකට යාමට වැඩි ඉඩකඩක් පවතින බවත්, එහිදී බ්‍රිතාන්‍යයේ ඉවත් වීම හා ‘ශෙනන් කලාපය'(Schengen zone) තව තවත් කුඩා වීමක්ද සිදුවේ යැයි සිතිය හැකි බවත් ඔහු ප්‍රකාශ කරන ලදී.
(‘ශෙනන් කලාපය’ යනු යුරෝපා සංගමයට අයත් රටවලින් දේශසීමා ආශ්‍රිත කරුණුවලදී දැනටමත් පොදු ආකෘතියක් භාවිතා කරන රටවල් 26 කින් සමන්විත පද්ධතියයි. යුරෝපා සංගමයට අයත් රටවල් 28 න් 22 ක් හා යුරෝපා නිදහස් වෙළද සංගමයට අයත් රටවල් 4 මීට අයත්ය. මෙම රටවල් අතර දේශසීමා පාලනය අවම කර ඇති අතර කලාපයක් ලෙස දේශසීමා පාලනය සිදුකරයි. ආසන්න කාලයේ සිදුවූ සංක්‍රමණික ගැටළුව හා ත්‍රස්ත ප්‍රහාරයන් නිසා පසුගිය මාස කිහිපය තුළ ඇතැම් රටවල දැනටමත් දේශසීමා පාලනය ආරම්භ කර ඇත. – පරිවර්තක)

cwi2

කම්කරු පන්තියේ අරගලය

අර්බුදය හමුවේ නැග එන දක්ෂිණාංශික ප්‍රවණතා කපා හෙළීමට ඇති තීරණාත්මක කරුණ වන්නේ, පසුගිය කාලයේදී සැලකිය යුතු වර්ධනයක් අත්පත් කරගත් කම්කරු අරගලයි. අයර්ලන්තයේදී ‘සමාජවාදී පක්ෂය'(CWI ශාඛාව) ජල ගාස්තුවට බදු පැනවීමට එරෙහි බහුජන අරගලයේදී නායකත්ව භූමිකාවක් ඉටු කරන ලදී. එමෙන්ම බෙල්ජියමේ ඇතිවූ විශාල වර්ජන ව්‍යාපාරයද, ෆින්ලන්තයේ හා නෝර්වේ රාජ්‍යන්හි සමස්ත මහා වැඩවර්ජනද පසුගිය කාලයේ සුවිශේෂී අරගලයන්ය. ජර්මනියේද වර්ජන උත්සන්න වී ඇත.

ආවසනාවන්ත ලෙස සෑමතැනකදීම, කිසිදු වෙනස්කමකින් තොරව, වෘත්තීය සමිති නායකයින් ඉතාමත් අප්‍රසන්න භූමිකාවක් ඉටු කරමින් මෙම ව්‍යාපාර පසුපසට ඇද දැමීමට කටයුතු කරන ලදී. ඉතාලියේ ජුලියානෝ බෘනෙට්ටි(Giuliano Brunetti) මේ සදහා කදිම උදාහරණයක් ඉදිරිපත් කරන ලදී. ඒ එරට විවිධ දේශපාලන ආයතන කිහිපයක් එක්වී සිදුකළ සමීක්ෂණයක් හරහා හෙළිදරව් වූ කරුණකි. විවිධ ‘ආයතන’ පිළිබද ජනතාව තුළ පවතින විශ්වාසය මැනගැනීමට සිදුකර ඇති එම සමීක්ෂණයට අනුව, රජයේ හමුදාවන් සහ පොලීසිය පිළිබදව ජනතාවගෙන් 84% ක්ද, පල්ලිය පිළිබදව 69% ක්ද, යුරෝපීය පාර්ලිමේන්තුව පිළිබදව 51% ක්ද, ජාතික පාර්ලිමේන්තුව පිළිබද 40% ක්ද වශයෙන් විශ්වාසය පළකර ඇත. එම වේදනාත්මක සංසන්දනයේදී වෘත්තීය සමිති සදහා විශ්වාසය පළකරන්නේ 31% ක් පමණි. එමෙන්ම සමීක්ෂණයට අනුව, 45% ක් පමණ කම්කරුවන් විශ්වාස කරනුයේ වෘත්තීය සමිති යනුවෙන් යමක් නොතිබුනද තත්වය බිදුවකින්යත් වෙනස් නොවේය යන්නයි.

නමුත් කාලයක් මුළුල්ලේ නැවත නැවතත් පෙන්වා දී ඇති පරිදි, කම්කරුවන් තමා තුළ කප්පාදු වැඩපිළිවෙලට හා ධනේශ්වර ක්‍රමයට ඇති දැවෙන කෝපය ප්‍රකාශයට පත්කිරීමට නැවුම් මාර්ගයන් සොයා ගනිති. එබැවින් වෙනස් ‍මාදිලියේ ව්‍යාපාර පැන නැගීමටද ඉඩ ඇත. අයර්ලන්තයේදී ‘විවාහයට ඇති සමාන අයිතියට’ පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම වෙනුවෙන් විශාල කම්කරු පන්ති ජනකායකගේ පිබිදීමකින් මතුවූ ව්‍යාපාරය ඊට උදාහරණයකි. එමෙන්ම නව ‘අල්ලා ගැනීමේ’ මාදිලියේ ව්‍යාපාර (Occupy style movements) පැන නැගීම පවා සිදුවිය හැක්කකි.

හැනා විසින් සිය අදහස් දැක්වීම හමාර කළේ, මෙම විවිධත්වයක් සහිත ඉඩප්‍රස්ථා හේතුවෙන් ‘කම්කරු ජාත්‍යන්තරයක් සදහා වන කමිටුවේ'(CWI) සියළුම ශාඛා ග්‍රීක අත්දැකීමෙන් තවදුරටත් ඉගෙනගත යුතු බවයි. ඇන්ද්‍රොස් පහියාත්සොස්(Andros Payiatsos) පෙන්වා දුන්නේ ‘ක්සෙකිනිමා'(ග්‍රීක CWI ශාඛාව) පක්ෂයට විවිධ කාලවල එකිනෙකට වෙනස්වූ උපක්‍රම අනුගමනය කරන්නට සිදුවූ බවයි. ඇතැම්විට පැවති තත්වයන් හමුවේ විවිධ නගර වලදී පවා එකිනෙකට වෙනස්වූ දේශපාලන උපක්‍රම මත පදනම් වෙමින් දේශපාලනය කිරීමට සිදුවූ අයුරු ඔහු විසින් පැහැදිලි කරන ලදී. අවසානයේ සාකච්ඡාව සාරාංශගත කරමින් ටෝනි අවධාරණය කරමින් මෙම නම්‍යශීලීත්වයේ අවශ්‍යතාවය සදහන් කළේ, විශේෂයෙන්ම අර්බුදයේ ඊළග අදියර පර්යාවලෝකනය කළ පසු, මීළග අදියරේදී 2007 සිට සිදු වූ සියල්ල සරල ලෙස නැවත සිදුවීමක් පමණක් සිදු නොවනු ඇති බවත් ඊට සූදානම් විය යුතු බවත් පෙන්වා දෙමිනි.

සාකච්ඡාව අතරතුර ඉදිරිපත් කළ, මහාද්වීපය පුරාම තිබෙන ශාඛාවන්ගේ වාර්තා සහ විශ්ලේෂණ මගින්ද එය තවදුරටත් පැහැදිලි වන අතර ‘කම්කරු ජාත්‍යන්තරයක් සදහා වන කමිටුව'(CWI) මාක්ස්වාදී අදහසින් සන්නද්ධ වෙමින්, නිවැරදිව ස්ථානගත වෙමින් අරගලයේ ඉදිරි වර්ධනය තුළ නායකත්ව බලඇණිය වීමට සූදානමින් සිටී.

(socialistworld.net වෙබ් අඩවිය ඇසුරෙනි.)

Scroll To Top