Home / Articles / අපේ‍්‍රල් පාර්ලිමේන්තු මැතිවරණයෙදී වම කි‍්‍රයාකරන්නේ කෙසේද ? පොඩි කථා බහක් අරඔමුද? – සුමනසිරී ලියනගේ

අපේ‍්‍රල් පාර්ලිමේන්තු මැතිවරණයෙදී වම කි‍්‍රයාකරන්නේ කෙසේද ? පොඩි කථා බහක් අරඔමුද? – සුමනසිරී ලියනගේ

image_pdfimage_print

අපේ‍්‍රල් පාර්ලිමේන්තු මැතිවරණයෙදී වම කි‍්‍රයාකරන්නේ කෙසේද ?
පොඩි කථා බහක් අරඔමුද? – සුමනසිරී ලියනගේ

මෙම ශීර්ෂය සහිත සටහනක් මා මිත‍්‍ර සුමනසිරී ලියනගේ විසින් තම මුහුණු පොතේ දමා තිබුණි. – මැතිවරණ දේශපාලන භුමිකාව තුළ සාපේක්ෂ වශයෙන් අසීරු තත්වයක පසුවෙන ලාංකේය වමේ ව්‍යාපාරය කෙරෙහි ඇල්මක් දක්වන විසිරි සිටින හුදකලා සටන්කාමී කොටස් ඉහත අදහස කෙරෙහි යම් ආකර්ශණයක් දක්වනු ඇතැයි විශ්වාස කළ හැකිය. සුමනසිරීගේ සාමාන්‍ය භාවිතාව වන්නේ වම ගොඩනගන්නේ කෙසේද යන ඇත්ත ප‍්‍රශ්ණයට අත නොගසා එ් මොහොතේ පවතින තත්වයෙන් ගැලවීමට යමක් යෝජනා කිරීමයග ඔහුගේ මෙම කි‍්‍රයාදාමය සෑම වසරකම මැයි දිනයක් ආසන්න වන විට ඉස්මතු වීම දැකිය හැකිය. එ් අනුව පංතිය එකතු කිරීම ගැන සංයුක්ත වැඩපිළිවෙලක් නොමැතිව කම්කරු පංතියේ එක්සත් මැයි දිනයක් යෝජනා කිරිමද එවැන්නකි. වැඩ කරන ජනතාව මුහුණ දෙන ප‍්‍රශ්ණ අරඹයා සාමුහික තින්දු ගතහැකි කම්කරු පංතිය හා වෘත්තිය සමිතිවල ස්ථාවර එක්සත් කමිටුවක් ගොඩනගා ගැනීමට අප තවමත් අපොහොසත්ව සිටී. එවන් පරිසරයක හුදෙක් මැයි දිනය උදෙසා කම්කරු පන්තියේ එක්සත් මැයි දිනයක් යන තේමාව යටතේ මැයි දිනය පවත්වා ඊට පසු දින සිට විසිර යන ඊනියා එක්සත් මැයි දිනයකින් කම්කරු පංතියට ලබාගත හැකි කිසිදු දෙයක් නොමැත. ඇත්ත වශයෙන් එයින් සිදු වන්නේ තනිව මැයි දිනයක් පැවැත්විය නොහැකි කමේ අර්බුදයට මුහුණ දෙන බොහෝමයක් වෘත්තිය සමිති නායකයින්ගේ නොහැකියාව වහංගු කර ගැනීම හා ස්වයංවින්දනයක් ලැබීම පමණී.

වෘත්තිය සමිති නායකයින්ගේ නිර්දේශපාලන පටු සිමාවන් බිදදමා අඩුම තරමේ 1980 වැඩ වර්ජනයට පෙර පැවති තත්වයේ වෘත්තිය සමිති එක්සත් කි‍්‍රයාකාරී කමිටුව වැනි ස්ථාවර කමිටුවක් ගොඩනගා ගැනීමේ අදහස වෙනුවෙන් කටයුතු කිරීම අත් නොහැරිය යුතුය. එවැනි ස්ථාවරව ගොඩනගා ගන්නා ලද සමිති නායකයින්ගේ එක්සත් කමිටුවක් හරහා වැඩ කරන ජනතාව මුහුණ දෙන දෛනික ගැටලූ පමණක් නොව පොදුවේ දියත්වන රාජ්‍ය මර්ධනයට මුහුණදීම සඳහා සාමුහික තින්දු ගතහැකිවෙයි. එම එක්සත් කි‍්‍රයාකාරී කමිටුවේ තීන්දු කෙරෙහි වෘත්තිය සමිතිවල පහළ සාමාජිකයින් එකට බැඳ තබා ගැනීම සඳහා වැඩබිම් මට්ටම දක්වා දිවයන එක්සත් කමිටු ගොඩනගා ගැනීමට පියවර ගත යුතුය. එවැනි දිගුකාලීන වැඩ පිළිවෙලක් මත ගොඩනැගෙන සැබෑ එක්සත් කමක් හරහා වර්ධනයවූ තත්වයන් මධ්‍යයේ කම්කරු පංතියේ සියලූ බලවේග වලට ආරාධනා කරන කම්කරු පංතියේ එක්සත් මැයි දිනයක් පැවැත්වීම කෙරෙහි අවධානය යොමුකළ හැකි වන්නේය. එසේ නොමැතිව මැයි දිනයක් ආසන්න වන විට වෘත්තිය සමිති කිහිපයක් එක්ව මැයි දිනයක් පවත්වා එය කම්කරු පංතියේ එක්සත් මැයි දිනයක් ලෙස හුවා දැක්වීම ඇත්ත වශයෙන් අනාගතයේ නිරෝගී අන්දමට ගොඩනගා ගතයුතු කම්කරු පංතියේ සැබෑ එක්සත්කම ¥ෂණය කිරීමක් වන අතර ඊට බාදාවක්දවේ.

පෙරවදනක් ලෙස ඉහත සටහන තැබුවේ සුමනසිරි විසින් පාර්ලිමේන්තු මැතිවරණය ගැන කර තිබෙන අදහස ගැන කෙටි සටහනක් තැබීම සඳහාය. අපේ‍්‍රල් 25 පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් වම කෙසේ කටයුතු කළ යුතුද යන සාකච්ජාව කිරීමට පෙර මෙයට මාස තුනකට පමණ පෙර පැවැති ජනාධිපතිවරණයේ වර්ධනයවූ තත්වයන් සම්පූර්ණයෙන් අමතක කර අනාගතය ගැන කථා කළ නොහැකිය. ප‍්‍රතිපත්තිමය වශයෙන් ප‍්‍රධාන දේශපාලන කරුණු අරභයා එක්සත්කමක් ඇතිකර ගැනීමට නොහැකි පරිසරයක් තුළ වමේ පක්ෂවලට වෙන් වෙන්ව තරඟ කිරීමට සිදුවිය. විශේෂයෙන් රටේ ප‍්‍රධානතම දේශපාලන ප‍්‍රශ්නය වන දෙමළ ජනතාවගේ ජාතික ප‍්‍රශ්ණය අරභයා වන ස්වයංනිර්ණය අයිතිය පිළිගැනීම යන මුලික මාක්ස්වාදී ස්ථාවරයන් කෙරෙහි එකඟත්වයක් ඇතිකර ගැනීමේ කිසිදු ඉඩකඩක් වමට නොතිබිණ.

වම වෙන්ව තරඟ වදින පරිසරයක් තුළ සුමනසිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ආරම්භක අවධියේ තම ෆේස් බුක් ගිණුමෙහි සඳහන් කර තිබුණේ ශ‍්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයේ අපේක්ෂිකාව වු අජන්තා පෙරේරාගේ මැතිවරණ ව්‍යාපාරය ඉතාම ආකර්ෂණීය එකක් යනුවෙන් එය ඉහලින් හුවා දක්වා තිබුණී. සුමනසිරිගේ උපදේශකත්වය යටතේ කටයුතු කරන වමේහඬ සංවිධානයේ ධර්මසිරි ලංකාපේලි සහෝදරයාගේ මුහුණුපොතේ අජන්තා පෙරේරා ගැන එවැනිම වර්ණනා කිරිම් කීපයක්ම පළ කර තිබුණි. අජන්තා පෙරේරා කිසිදු ආකාරයක වාමාංශික දේශපාලන අදහසක් නියෝජනය නොකළබව පැහැදිලිව තිබු පරිසරයක ඇය නාගානන්ද කොඩිතුවක්කු සමග ප‍්‍රසිද්ධියේ වේදිකාගත වී එය තහවුරුවීමෙන් අනතුරුව සුමනසිරිගේ ප‍්‍රචාරක ව්‍යාපාරයද වියැකී ගියේය. මේ වනවිට අජන්තා පෙරේරා එක්සත් ජාතික පක්ෂය සමග ප‍්‍රසිද්ධියේ පෙනී සිටීමෙන් ඇය නියෝජනය කරන දේශපාලනය හොඳින් හෙළිදරව්වී ඇත. මෙවැනි පක්ෂවල කි‍්‍රයාකාරීත්වය ගැන නොසලකා පාර්ලිමේන්තු මැතිවරණය සඳහා හුදු එක්සත්කමක් ඇතිකර ගත හැක්කේ අවස්ථාවාදී උවමනාවන් සඳහා පමණක් යන්න අපේ අදහසයි.

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී වම කි‍්‍රයාකරන්නේ කෙසේද යන ප‍්‍රශ්ණය මතු කරන සුමනසිරිට පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් සමාජවාදී පක්ෂයේ සිරිතුංග ජයසුරිය තරඟ කරන බව හෝ සැලකීමට නොගැනීමට තරම් ප‍්‍රවේශම් වු බව පෙනේ. ඇත්ත වශයෙන් මෙහිදී සඳහන් කළයුතු වන්නේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අදහස් දැක්වු විදර්ශණ කන්නන්ගර ප‍්‍රසිද්ධයේ කියා සිටියේ ඔහු සමාජවාදී සමානතා පක්ෂය දක්වා සියලූ සංවිධානවල නම් සඳහන් කරමින් සියලූ වමේ අපේක්ෂකයින් වෙනුවෙන් පෙනි සිටින බවකීමට ඔහු එඩිතර විය. තනි පුද්ගලයන් වශයෙන් තමන්ට සිතැඟි පරිදි විවිධ ස්ථාවරයන් වලට එළඹීමට ඔවුනට තිබෙන නිදහස ලොකු හෝ කුඩා පක්ෂ වලට හා සංවිධානවලට නොමැතිිය.

එක්සත් සමාජවාදී පක්ෂය හුදු මැතිවරණය සඳහා පමණක් තාවකාලික හා අවස්ථාවාදී එක්සත් කම් ඇතිකර ගැනීමේ කි‍්‍රයාදාමයට විරුද්ධය. එසේම වම ගොඩනැගීම කෙරෙහි සැබෑ වැඩ පිළිවෙලක් හා කි‍්‍රයාමාර්ගයක් නොමැතිව මැයි දිනයක් පැවැත්වීම සඳහා පමණක් එක්සත්වීමද බැහැර කරනු ලබයි. 2011 වර්ෂයේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජනතා විමුක්ති පෙරමුණෙන් කැඞී වෙනම සංවිධානයවිම ආරම්භ කල මුල් අවධියේ මැයි දිනයට දින කීපයකට පෙර එක්සත් මැයි දිනයක් පැවැත්වීම ගැන ඉතා බලවත් ඉල්ලීමක් අපගෙන් කරන ලදී. එහිදී අප පැහැදිලි කළේ වම එක්සත් කිරිම සඳහා වන කි‍්‍රයාමාර්ගයන් හා අවම වැඩ පිළිවෙලක් හෝ නොමැතිව එක්සත් මැයි දිනයක් පැවැත්වීම අනාගතයේ අප ගොඩනැගිය යුතු නිවැරදි එක්සත් පෙරමුණු කි‍්‍රයාකාරීත්වයට හානිකර විය හැකි බවයි. එසේම මෙම මැයි දිනයෙන් පසුව මැයි දිනය එක්සත්ව සමරණ වමේ පක්ෂ හා සංවිධානවල ඉදිරි කි‍්‍රයා මාර්ගය කුමක්ද යන්න අප ඉතා දැඩිව ඉස්මතු කරන ලදී. කණගාටුවට කරුණ නම් එම මැයි දිනයෙන් පසුව හුදෙක් මැයි දිනයක් උදෙසා වත් එක්සත් වීමට අනෙකුත් සෙසු වමේ සංවිධානවලට හෝ නොහැකි වීමය.

මෙම අත්දැකීම් වලින් විද්‍යාමාන වනුයේ හුදෙක් පාලූව හා තනිකම මකා ගැනීම සඳහා මැතිවරණ වලදී හෝ මැයි දිනයන් වලදී වම එක්සත්වීමෙන් කිසිදු දිගුකාලීන ධනාත්මක වර්ධනයක් අත්පත් කර ගත නොහැකි බවයි. අසීරු වුවද වම එක්සත් කි‍්‍රයාමාර්ගයකට අවතීර්ණවීමේ අනිවාර්්‍යය වැදගත්කම වෙනදාට වඩා වර්තමානයේ ඉස්මතුව ඇත. එ් වෙනුවෙන් අප නිහතමානීව විවෘතව සාකච්ජාවන්ට අවතීර්ණ විය යුතුව ඇත. එහිදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය කි‍්‍රයාකාරීත්වය බොහෝ ප‍්‍රශ්නකාරීය. එක්සත් කි‍්‍රයාකාරිත්වය සම්බන්ධයෙන් විජේවීරගේ හා පැරණි ජවිපෙ කි‍්‍රයාමාර්ග වලින් වෙන්ව ඔවුන් ඉදිරියට ගමනක් යන බව නොපෙනේ. තම පක්ෂයේ තීන්දු වටා අන් සංවිධාන තමන්ට උවමනා අන්දමට එක්සත් කි‍්‍රයාවන්ට යොමුකර ගැනීමේ පටු ආංශිය වාදයෙන් වමේ සියලූ සංවිධාන මිදිය යුතුය. සාමුහිකව සාකච්ජා කර තින්දු ගන්නාවු ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිසරයක් නිර්මාණය කර ගැනිම අත්‍යවශ්‍යය. එක්සත් පෙරමුණ කි‍්‍රයාකාරිත්වය යනු අන් අයගේ සාක්කුවේ තිබෙන දෙය හොරා ගැනීම වැනි පටු කි‍්‍රයාවක් නොවන බව අප ඉගෙන ගත යුතුය. විජේවීරට හා ජවිපෙයට එක්සත් කි‍්‍රයාවන් අවශ්‍යවුයේ තමන්ට එල්ල වන මර්ධනයෙන් බේරීමට හා අසීරු දේශපාලන කපොල්ල පැන ගැනීම සඳහා පමණක් බව ඉතිහාසය සාක්ෂී දරයි.

කෙසේ වුවද කණගාටුවෙන් වුවද ස`දහන් කළ යුත්තේ එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී වමට එක්ව තරඟ කිරීමට තිබෙන ඉඩකඩ ඉතා සිමිත බවද එහෙත් ඉදිරියේ දියත් වන රාජ්‍ය මර්ධනය හා භීෂණය හමුවේ වමේ අපට එක්ව පෙනි සිටීමට බලකරනු ඇති බවයි. එහිදී අප උනන්දු විය යුත්තේ හුදෙක් රාජ්‍ය මර්ධනයට මුහුණ දීම සඳහා යන කරුණින් එහාට ගමන් කරන පලදායී එක්සත් කමක් ඇතිකර ගත හැක්කේ කෙසේද යන කාරනාවටය. කෙටි කාලීන හා දිගුකාලීන වැඩ පිළිවෙලක් හා කි‍්‍රයාමාර්ගයක් මත එක්සත් කි‍්‍රයාකාරීත්වයක් ගොඩනැගීම තුළින් පමනක් එක්සත් වමක් ගොඩනැගීම ගැන සුබවාදී අනාගතයක් පිළිබද බලාපොරොත්තු තැබිය හැකිය යන්න අපේ විශ්වාසයයි.

සිරිතුංග ජයසුරිය
07- 03 -2020

Scroll To Top