කොවිඩ් වසංගතය සමඟ ලංකාව මෑත ඉතිහාසයේ නොවූ විරූ දැවැන්ත ආර්ථික අර්බුධයක් නිර්මාණය කරගෙන ඇත. මෙම ගැටළුවට සරළ හෝ පහසු විසඳුමක් නැත. මේ වන විට ඕස්ට්‍රේලියාව වැනි රටවල ධනපති නියෝජිතයින් ආර්ථික අර්බුධය ගැන කතා කිරීමේ දී ඔවුන්ගේ ධනවාදී න්‍යායන් ආරක්ෂා කරගැනීම සඳහා උදාහරණයට ගන්නේ ලංකාවේ ආර්ථික අර්බුධයයි. කළෙක ආසියාව තුළ දෙවැනියට බලවත්ම ආර්ථිකය ලෙස කිරුළු පලන් ලංකාවේ ආර්ථිකය අද වන විට මෙතරම් පහත් තත්වයට ගෙන ඒමට මෙතෙක් රට පාලනය කළ ධනපති ආණ්ඩු කටයුතු කර තිබේ. ශ්‍රී ලංකාව මෙවැනි දැවැන්ත ආර්ථික අර්බුධයකට මුහුන දී සිටියද පවතින ආණ්ඩුව එම තත්වය ජනතාවගෙන් වසන් කිරීමේ උත්සාහයක නිරතවී සිටී. මැති ඇමතිවරුන් ව්‍යාජ තර්ක සහ අලංකාරෝක්ති කතා පවත්වමින් ජනතාව නොමඟයැවීමේ ව්‍යාපාරයක නිරත වී සිටිති. වාචාල ඇමතිවරුන් කෙසේ කීවද ජාත්‍යන්තර මූල්‍ය සංගණන ආයතනයක් වන “ෆිච්” ආයතනය ප්‍රකාශ කරන පරිදි මේ වන විටි ශ්‍රී ලංකාව CCC- වර්ගීකරණය :ණය වාරික ගෙවාගැනීමට නොහැකි වීමේ දැඩි අවදානමක් සහිත” දක්වා පහත වැටී ඇත. දැනට ලොව CCC හා එයට පහළ RD ශ්‍රේණියේ රටවල් ඇත්තේ 12ක් පමණි. මෙවැනි තත්වයක් යටතේ රජයට සහන පොලී අනුපාත යටතේ විදෙස් ණය ලබාගැනීමත්, රටට වාසිදායක කොන්දේසි යටතේ විදෙස් ආයෝජන ආකර්ශණය කරගැනීමත් සිහිනයක් පමණක් බවට පත්වෙමින් පවතී. රට මුහුණ දෙන වර්ථමාන ආර්ථික අර්බුධයේ බරපතල කාරණය වන්නේ විදෙස් සංචිත සම්බන්ධයෙන් පැන නැඟී ඇති අර්බුධයයි. මේ වන විට ලංකාවේ විදේශ මුදල් සංචිතය බිංදුවට ආසන්නයක් දක්වා පහත වැටී ඇත. මෙම තත්වය දකුණු ආසියාවේ අනෙකුත් රටවල් හා සංසන්දනය කිරීමේ දී ශ්‍රී ලංකාව පත්ව ඇති ප්‍රපාතය පහසුවෙන් තේරුම් ගත හැක. බංගලාදේශය ඩොලර් බිලියන 44ක් වන අතර, පාකිස්තානය ඩොලර් බිලියන 20ක් සහ ඉන්දියාව ඩොලර් බිලියන 642ක විදෙස් සංවිත ප්‍රමාණයකට හිමිකම් කියයි. කොරෝනා අර්බුධය හමුවේ මෙම තත්වය උද්ගතවී ඇති බව රජයට පක්ෂපාත කණ්ඩායම් ප්‍රකාශ කරන නමුත් දකුණු ආසියාවේ අනෙකුත් සියළුම රටවල් මෙම අර්බුධය හමුවේ වුවද විදෙස් සංචිත වැඩිකරගෙන ඇති තත්වය යටතේ මෙය කොරෝනා සම්බන්ධ ගැටළුවකට වඩා වැරදි රාජ්‍ය මූල්‍ය පාලන ප්‍රතිපත්ති හේතුවෙන් උද්ගතව ඇති තත්වයක් බව පැහැදිළිය. ජාත්‍යන්තර මිනුම්දඬු වලට අනුව ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් පහලම අඩියට වැටී සිටී.
ආණ්ඩුවට මෙම අර්බුධයට සාධනීය විසඳුමක් ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇති අතර, මේ වන විට ක්‍රියාත්මක කර ඇති එකම විසඳුම විදේශයන්ගෙන් බඩු භාණ්ඩ ආනයනයට දැඩි සීමා සහ කොන්දේසි පැනවීම තුළින් සීමා කිරීමයි. විශාල ප්‍රතිරූපයක් මවා රසායනික පොහොර ආනයනය නතර කිරීමට සැබෑ හේතුව විදේශ විනිමය අර්බුධයයි. අනෙක් පසින් රජය අනුගමනය කරන ප්‍රතිපත්තිය වන්නේ රට තුළ මුදල් සංසරණය පවත්වාගෙන යාම සඳහා මුදල් අච්චු ගැසීමයි. මෙරට ඉතිහාසයේ සියළු වාර්ථා බිඳහෙලමින් මහ බැංකුව දිනපතාම පාහේ මුදල් අච්චු ගැසීමට කටයුතු කරමින් සිටින අතර සැප්තැම්බර් මස 16 වන විට අච්චු ගසන ලද මුදල් ප්‍රමාණය රු. ට්‍රිලියන 1.5576කි. මෙම මුදල කෙතරම් විශාල අගයක්ද යත් එය මිලියන 22කට ආසන්න ශ්‍රී ලාංකික ජනතාව අතර සමසේ බෙදා දුන්නේ නම්, එක් පුද්ගලයෙකුට රු. 70,000 ක මුදලක් ලැබෙනු ඇති. මුදල් අච්චුගැසීම තුළින් උද්ධමනය ඉහල නොයන බව හිටපු මුදල් රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් පුන පුනා පැවසුවද රටක මුදල් සංසරණයට අළුතෙන් මුදල් එක් කිරීම තුළින් උද්ධමනය ඇතිවන බව අපොස සා.පෙළ වානිජ විශයන් වලදී උගන්වන ඉතාමත් මූලික ආර්ථික විද්‍යා සිද්ධාන්තයකි. ආර්ථික විශේෂඥයන්ගේ බලපෑමකින් තොරව මෙම කටයුතු ආණ්ඩුවට අවශ්‍ය ලෙස කරගෙන යාම සඳහා ගෝටාබය විසින් මහ බැංකුවේ අධිපතිවරයා ලෙස ආණ්ඩුවේ දේශපාලන ගැත්තෙකු සහ හිටපු මුදල් රාජ්‍ය ඇමතිවරයා වූ අජිත් නිවාඩ් කබ්රාල්වම පත් කිරීමට කටයුතු කරන ලදී. මහබැංකුවේ ඉහල නිලධාරීන් පත්කිරීම සම්බන්ධයෙන් ඇති සියළුම සම්ප්‍රදායයන් බිඳ දමා දේශපාලන ගැත්තෙකු පත්කිරීම තරම් බංකොළොත් තත්වයකට මෙම ආණ්ඩුව පත්ව තිබේ. ඩොලර් හිඟය කෙතරම් බරපතල තත්වයක පවතිනවාද යන්න රට තුළ එකකට එකක් විශාල වශයෙන් වෙනස් විනිමය අනුපාතයන් 3ක් එක්වර ක්‍රියාත්මක වීම හරහා මොනවට පැහැදිළි වේ. මහබැංකුව ඩොලරයක මිල රු. 203ක් වශයෙන් නියම කර තිබියදීල වානිජ බැංකු ඩොලරයක් අළෙවි කරනු ලබන්නේ රු. 228කටය, ඒ අතර කොළඹ පෞද්ගලික වෙළඳුන් ඩොලරයක් අළෙවි කරන මිල රු. 245-250ත් අතර පවතී. මෙවැනි තත්වයක් ස්ථාවර ආර්ථිකයක් ඇති කිසිඳු රටක පවතින්නේ නැත. මීට පෙර සිම්බාබ්වේ, වෙනිසියුලාව, ලෙබනාන්, ග්‍රීරීසිය වැනි රටවල ආර්ථිකය බිඳ වැටීමට පළමුව මෙවැනි තත්වයක් දැකිය හැකි විය. මෙයින් පෙනෙන්නට තිබෙන්නේ මහ බැංකුවට රුපියලේ වටිනාකම පාලනය කර ගැනීමට ඇති නොහැකියාවයි.
අයවැයට පෙර ආණ්ඩුව අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ඉහල දැමීමට කටයුතු කරමින් සිටී. ගෘහස්ත ගෑස්, කිරිපිටි හා සීනි වැනි ද්‍රව්‍ය වල මිල නොබෝ දිනකින් විශාල වශයෙන් ඉහල දැමීමට නියමිතය. බැසිල් රාජපක්ෂගේ මැජික් විසඳුම පිළිබඳ උදම් ඇනූ රජයේ හෙන්චයියන් මේ වන විට නිහඬ වී ඇත. කිසිඳු ටෙන්ඩර් කැඳවීමකින් තොරව යුගදනව් බලාගාරයෙන් 40% කොටස් ඇමෙරිකානු [නිව් ෆෝට්‍රස් එනර්ජි] සමාගමට රු. 1200ට හොරෙන් ගිවිසුම් ගසා විකිණීමට බැසිල් රාජපක්ෂ පියවර ගෙන ඇත. සාමාන්‍යයෙන් රටක විදුලි බලය සැපයීම විදෙස් සමාගමකට පැවරීමට කිසිඳු රටක් පියවර ගන්නේ නැත. ජාතික ආරක්ෂාව ගැන හුවාදක්වන දේශප්‍රේමී ආණ්ඩුව රටේ විදුලිබල සැපයුම ගැන තීන්දු ගැනීමට ඇමෙරිකාවට පවරා තිබේ. විමල් වීරවංශ, උදය ගම්මන්පි හා වාසුදේව නානායක්කාර යන ඇමතිවරුන් සිය රෙද්ද බේරා ගැනීම සඳහා ඊනියා ඇමෙරිකානු විරෝධයක් පෙන්වා ඇත්තේ ජනතාව නොමඟ යැවීම සඳහාය.
කොරෝනා ඇඳිරි නීතිය භාවිතා කරමින් ජනතා දේපළ හා විටිනා සම්පත් විකිණීම කරගෙන යන අතර හදිසි නීතිය පනවා කම්කරු පන්තියෙන් හා ජනතාවගෙන් මතුවන විරෝධතාව මර්ධණය කිරීමට පියවර ගෙන ඇත. කොතලාවල පෞද්ගලික විශ්ව විද්‍යාල පනතට එරෙහිව විරෝධතාවයට එක්වුන අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරීන් හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ චමීර කොස්වත්ත වැනි නායකයින්ට ඇප නොදී රිමාන්ඩ් භාරයේ තබාගැනීම දේශපාලන පලිගැනීමකි. මේ වන විට රටේ සෑම අංශයක්ම මිලිටරි පාලනයකට යටත්කර ඇත. පරිපාලන සේවය දුර්වල කොට එයට හමුදා යාන්ත්‍රණය ආදේශ කර ඇති බව පැහැදිලිව දැකිය හැකිය. ගෝටාබය ආණ්ඩුවේ පාලනයට විරුද්ධවන බලවේග මර්ධනය කරමින් ඒකාධිපති පාලනයක් තහවුරුකරගනිමින් සිටී. ගුරුවරුන් විසින් සිදුකරන ලද වර්ජනය මර්ධනය කිරීම සඳහා අන්ත ජාතිවාදියෙකු වන පොලීසිය භාර ඇමති සරත් වීරසේකර ප්‍රසිද්ධියේ කටයුතු කරමින් සිටී. ව්‍යාජ පැමිණිලි භාවිතා කරමින් ගුරුවරු රහස් පොලීසිය වෙත කැඳවීමට කටයුතු කර තිබේ. මේ සියළු මර්ධනයන් මැද ගුරුවරුන්ගේ අරගලය ඉදිරියට ගමන් කරමින් තිබේ. එසේ වුවද ගුරු අරගලය පෝෂණය කිරීම සඳහා අනෙකුත් වෘර්තීය සමිති වලින් ලැබෙන සහයෝගය ඉතා දුර්වලය. ගුරු අරගලය හුදකලා නොකිරීම අනෙක් වෘර්තීය සමිතිවල කාර්යභාරය විය යුතුය.
මේ අතර ආණ්ඩුවේ දූෂණ හා වංචා සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් කරන මාධ්‍යවේදීන් දඩයම් කිරීමටද රජය විසින් කටයුතු කරමින් සිටී. සමාජමාධ්‍ය හරහා කටයුතු කරන මාධ්‍යවේදීන් හා සමාජ ක්‍රියාකාරීන් පමණක් නොව ප්‍රධාන මාධ්‍ය ආයතන වල සේවය කරන මාධ්‍යවේදීන්ද රහස් පොලීසියට කැඳවා පැයගණන් ප්‍රශ්න කිරීමට භාජනය කර ඇත. පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යයක්ෂකවරයෙකු වන තුෂාර ගුණවර්ධන විසින් ලංකාදීප පුවත්පතට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ලංකාදීප ප්‍රධාන කාර්යාලයට පැමිණ එහි ප්‍රධාන කතුවරයාගෙන් හා තොරතුරු වාර්ථාකරන ලද මාධ්‍ය වේදියාගෙන් ප්‍රශ්නකරන තැනට ආණ්ඩුවේ මාධ්‍ය දඩයම දියත් වී ඇත.
ආණ්ඩුව සාමාන්‍ය ජනතාව අතර සීග්‍රයෙන් පිරිහීමට ලක්වෙමින් පවතින බව ඇඟට දැනෙන විට ගෝටාබය සිය අවසාන තුරුම්පුව ලෙස නැවතවතාවක් ජාතිවාදය ඉස්මතුකිරීම සඳහා සියුම් උත්සාහයක යෙදෙන බව දැකිය හැකිය. නාවික හමුදාවේ නිලධාරීන් කතෝලික දේවස්ථානවලට නිල වශයෙන් පැමිණ සහරාන් වර්ගයේ ප්‍රහාරයක් ඇතිවිය හැකි බවට තොරතුරු ලැබී තිබෙන බවත්, ආරක්ෂාව ගැන අවධියෙන් සිටින ලෙසටත් කතෝලික පූජකයන් කිහිප දෙනෙකුහට අනතුරු ඇඟවීම හුදකළා සිදුවීමක් ලෙස පිළිගන්නේ මෝඩයින් හා පිස්සන් පමණි. මෙය ජනතාව අතර මුස්ලිම් විරෝධී ජනමතයක් ගොඩනැඟීමේ කුමන්ත්‍රණයක් අතේ පත්තුවීමක් විය හැකිබවට පැතිර යන සැකය බැහැර කිරීමට නොහැක. ආණ්ඩුවට කඩේයන ඥානසාර සහ තවත් එවැනි බෞද්ධ භික්ෂූන් කණ්ඩායමක් විසින් නැවත මුස්ලිම් විරෝධයක් ඉස්මතු කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව ඔවුන්ගේ හැසිරීම් වලින් මනාවට පැහැදිළි වේග පිරිහෙමින් පවතින හා ජනතා අප්‍රසාදයට පත්වෙමින් පවතින ආන්ඩුව බේරා ගැනීම සඳහා ජාතිවාදය ඉස්මතු කරමින් ජාතික ආරක්ෂාවට මුවාවෙමින් ආන්ඩුව සහ ආණ්ඩුවට පක්ෂපාත මෙවැනි කණ්ඩායම් විසින් ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කම්කරු පන්තිය සහ වමේ ව්‍යාපාර අවධියෙන් සිටීයුතු සහ විරුද්ධව සංවිධානය වියයුතු කාලය එළඹ ඇත.
රටේ පරිපාලනය සම්පූර්ණයෙන්ම පාහේ අරාජික තත්වයකට පත්ව ඇත. හාල්මිල සඳහා ආණ්ඩුව ප්‍රකාශයට පත්කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට ආණ්ඩුවට සිදුවීම මෙම තත්වයට තවත් එක් නිදසුනකි. ආණ්ඩුව මේ ආකාරයට ගැසට් නිවේදන නිකුත් කිරීම සහ එහි තීන්ත වේලීයාමට ප්‍රථම අවලංගු කිරීම ගැන වාර්තා තබා ඇත. මෙම ක්‍රියාකළාපය හේතුවෙන් ශ්‍රී ලංකාවේ පවතින ධනවාදී නිදහස් ආර්ථික රාමුව තුළ ප්‍රධානතම කාර්යභාරයක් ඉටුකරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට සිය ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් කිසිඳු දිඟුකාලීන තීරණයක් ගත නොහැකි තත්වයක් උද්ගතව ඇත. මේ තත්වය යටතේ ජනතාව තුළ ආණ්ඩුව විසින් නිකුත්කරන නිවේදන සහ ගන්නා තීන්දු තීරණ සම්බන්ධයෙන් ඇති විශ්වාසය මුළුමනින්ම පාහේ අහෝසි වී ඇත. දකුණු ආසියානු කළාපය සැළකීමේදී ආර්ථික සහ පරිපාලනමය වශයෙන් ශ්‍රී ලංකාවට පහලින් සිටින්ගේ ඇෆ්ගනීස්ථානයට පමණි. මේ තත්වය තුළ රටේ ඉදිරි ආනාගතය පිළිබඳ සාකච්ඡාවක් විවිධ ස්ථරයන් තුළ මතුවෙමින් පවතී. නැවත වතාවක් මෙම ක්‍රමයේම දිඟුවක්වන ධනපති විපක්ෂයේ කණ්ඩායම්වල එකතුවක් බලයට පත්කිරීමට හැකිවුනත් මෙම දූෂිත ධනේශ්වර පාලනයට විකල්පයක් නොලැබෙනු ඇත. ජනතා විමුක්ති පෙරමුණල ජාතික ජන බලවේගය නමින් බලය ලබාගැනීමට උත්සාහ කරන බව පෙනුනත් ඔවුන් නව ලිබරල් ආර්ථික ක්‍රමයට විකල්ප ආර්ථික වැඩපිළිවෙළක් ඉදිරිපත්කරන බවක් පෙනෙන්නට නැත. ඔවුන්ගේ තේමාව වී ඇත්තේ දූෂිත පාලනය වෙනුවට දූෂණයෙන් තොර පාලයක් ගෙන ඒමේ බංකොළොත් අදහසකි. ජනතා විමුක්ති පෙරමුණ විකල්ප සමාජවාදී වැඩපිළිවෙලක් වෙනුවෙන් පෙනී සිටීම ප්‍රතික්ෂේප කිරීමෙන් ඔවුන් ධනේශ්වර පාර්ලිමේන්තුවාදී දේශපාලනයට නතුවී ඇති බව පෙන්නුම් කරයි.
එසේ වුවද මධ්‍යම පාන්තික ආචාර්යයවරුන්, කළා කරුවන් වැනි පිරිසකගේ සාම්ප්‍රදායික පොදු ජන පෙරමුණ හා සමගි ජන බලවේගය නමින් පෙනීසිටින එජාපයේ සිටි පිරිස ධනපති දේශපාලනයට විකල්පයක් ලෙස ජවිපෙය දෙසට නැඹුරුවීමේ ප්‍රවනතාවයක් පවතී. එහෙත් ජාත්‍යන්තර අත්දැකීම් වලින් පෙනෙන්නට තිබෙන්නේ එවැනි කණ්ඩායම් වලට කම්කරු පන්තිය ඇතුළු පීඩිත ජනතාවගේ බළාපොරොත්තු ඉටුකළ නොහැකි බවයි. එයට ඇති හොඳම උදාහරණය ශ්‍රීසියේ ජනතාවගේ බලාපොරෙත්තු පොදි බැඳගෙන බලයට පත්කළ {සිරිසා} පක්ෂය විසින් සිදු කළ දරුණු පාවා දීමයි. සමාජවාදී වැඩපිළිවෙලක් වෙනුවෙන් කම්කරු පන්තිය හා පොදු ජනතාව දැනුවත්ව සංවිධානය නොකරන්නේ නම් ධනේශ්වර ක්‍රමයේ බලවතුන්ට යටත්වන්නට සිදුවන බව එහි අත්දැකීමයි.
මෙම අත්දැකීම් සමඟ ලංකාවේ විකල්ප සමාජවාදී බලවේගයක් නිර්මාණය කිරීම අපවෙත පැවරෙන විශාල අභියෝගයකි. සමාජවාදී ව්‍යාපාරයේ කළක් කටයුතු කළ නාගරික මධ්‍යමපාන්තික උගතුන් සමාජවාදී ව්‍යාපාරයෙන් ඉවත්ව ජනතාවාදී කෙටි විසඳුම් කරා ගමන් කරති. එම තත්වය කම්කරු පන්තියේ සමහර ක්‍රියාධරයින්ගේ මනස විකෘති කිරීමට බලපානු ඇත. එමඟින් තාවකාලික තෘප්තියක් ලබාගත හැකි වුවද රට මුහුණ දෙන ගුඹුරු සමාජ, ආර්ථික හා දේශපාලන අර්බුධයට විසඳුමක් එයින් නොලැබෙනු ඇත. මෙම තත්වය තේරුම් ගනිමින් නව ලිබරල්වාදයට එරෙහිව සමාජවාදී ව්‍යාපාරය වෙනුවෙන් පෙනීසිටින බලවේග ඒකරාශී කරගනිමින් සැබෑ විකල්පයක් ගොඩ නැඟීමට සටන්වැදීම කම්කරු පන්තික ක්‍රියාධරයින්ගේ වගකීමයි. එය සිදු කිරීමට අප අපොහොසත් වන්නේ නම් නැවත වරක් රෑ වැටුන වලේ දවල් වැටීමක් එනම් තවත් ධනපති කල්ලියක් බලයට ගෙන ඒමක් සිදුවනු ඇතග එවැන්නකට ඉඩ නොදීම වෙනුවෙන් අපි සටන්කළ යුතුව ඇත.