”Go Home Gota” යන සටන් පාඨය පෙරදැරි කරගෙන පසුගිය වසරේ අප්‍රේල් සිට ගෝල්ෆේස් පිටියෙන් ආරම්භ වූ අරගලය ජුලි මස වන විට මුලු රටම වෙලාගත් දැවැන්ත ජනතා නැගිටීමක් කරා මර්ධනය වී ගෝඨාභය ජනාධිපතිධූරයෙන් එළවා දමනු ලැබීය. පසුගිය වසරේ ඇතිවූ මෙම ජනතා නැගිටීම ලංකාවේ පැවති දේශපාලන රටාවන් වෙනස් කිරීමට භාජනය කරනු ලැබීය. ඒ අතර ප්‍රධාන වූයේ සම්ප්‍රදායික ධනපති දේශපාලන පක්‍ෂ සියල්ල බිඳවැටීමකට ලක් වීමයි. මෙම හේතුව නිසා පොහොට්ටු පක්‍ෂය, එක්සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පමණක් නොව උතුරේ හා නැගෙනහිර දෙමළ හා මුස්ලිම් සාම්ප්‍රදායික දේශපාලන පක්‍ෂ පවා ඉතිහාසයේ විශාලම අර්බුදයකට මුහුණ දෙමින් සිටී. මෙම පරිසරය තුළ පාර්ලිමේන්තුවේ මු`ඵ මන්ත්‍රි සංඛ්‍යාව වන 225 එපා යන සටන් පාඨය ජනතාව අතර පොදු සටන් පාඨයක් බවට පත් විය. අරගලයෙන් මතු වූ දේශපාලන හිදැස පිරවීම සඳහා දියුණු කම්කරු පංතිය හා තරුණයින් දේශපාලන වශයෙන් නව මාවත් ගැන සොයා බලන තැනකට පත්වීමද පෙනෙන්නට තිබේ.
එසේ වුවද සාම්ප්‍රදායික ධනපති දේශපාලන පක්‍ෂ කෙරෙහි කළ කිරි සිටින එහෙත් මැතිවරණ දේශපාලනය ගැන තවමත් බලාපොරොත්තු තබා සිටින අති මහත් බහුතර ජනතාව එම පක්‍ෂ වලින් ඉවත්ව ජනතා විමුක්ති පෙරමුණ (ජාතික ජන බලවේගය – මාලිමාව) දෙසට විශාල වශයෙන් යොමු වීම ආරම්භ වී ඇති බව පෙනේ. ජනතා විමුක්ති පෙරමුණ ඉතා කෙටි කාලයක් තුළ සැළකිය යුතු ජනතා බලවේගයක් ආකර්ෂණය කර ගැනීමට සමත්ව ඇත්තේ ඒ නිසාය. ජවිපෙය දෙසට නාගරික මධ්‍යම පංතියේ හා කලාකරුවන් අතුරින් සැළකිය යුතු කොටසක් ආකර්ශණය වීමට එක් ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ජවිපෙ ආරම්භක වාමවාදී දේශපාලන ප්‍රතිපත්ති අත්හැර දැමීම හෝ යටපත් කර දැමීම නිසාය. ඉතා පැහැදිලිව කිවහොත් ජවිපෙය හුදු සටන්පාඨයක් ලෙස හෝ ඉතිහාසය පුරා ප්‍රදර්ශණය කරනු ලැබු සමාජවාදය යන්න සම්පූර්ණයෙන්ම තම න්‍යාය පත්‍රයෙන් ඉවත් කරනු ලැබීය. ජවිපෙය විසින් සමාජවාදය අත් හැර දැමුවා පමණක් නොව වමේ ව්‍යාපාරයට උරුම වූ රතු කමිසය හා රතු පාටද ගලවා දමනු ලැබීමෙන් ඔවුන් කෙතරම් වේගයෙන් ධනපති දේශපාලනය දෙසට ගමන් කර ඇත්ද යන්න තේරුම් ගත හැකිය. ජවිපෙ ප්‍රධාන පෙළේ නායකයෙකු වන බිමල් රත්නායක විසින් අනිද්දා පුවත් සමග කළ සාකච්ඡාවේදී මෙසේ සඳහන් කර ඇත.
“දැන් සමාජය තුළ සමාජවාදයක් සඳහා සමාජ විලිරුදාවක් නැහැ. දැන් තියෙන්නෙ ධනපති ප්‍රතිසංස්කරණයකින් තීන්ත ටිකක් ගාලා මේ වැටිලා තියෙන වලෙන් ගොඩ එන්න ක්‍රමයක් හොයලා දෙන්න කියන එක. රට වැටිලා තියෙන වලේ හැටියට ඒක පවා නරක දෙයක් නොවෙයි.” (2018.09.09. අනිද්දා පුවත් පත)
ආරම්භයේ සිට තරුණයින් රැවටීම සඳහා යොදා ගත් සමාජවාදී සමාජයක් ගොඩනගන බවට පෙන්වන ලද ප්‍රතිරූපය ජවිපෙය විසින් අත්හැර දමා ඇති බව පසුගිය මස ස්වාධීන බුද්ධිමතුන් පිරිසක් සමග අනුර කුමාර දිසානායක කරන ලද සාකච්ඡාවකදී කළ ප්‍රකාශයකින් මේ බව වඩා තහවුරුවේ. සාකච්ඡාවේ සිටි මාධ්‍යවේදීන් පිටමං කිරීමෙන් අනතුරුව සාකච්ඡා කළ පිරිසගේ ජංගම දුරකථන පවා අක්‍රිය කිරීමෙන් පසු ලංකාවේ ධනපති පංතියක් නොමැති බවත්, එබැවින් ධනපති ක්‍රමය දුෂණයෙන් තොරව පවත්වා ගෙන යාම ඔවුන්ගේ වැඩ පිළිවෙල බව ඔහු එහිදී ප්‍රකාශ කර ඇත. ක්‍රමානුකූලව තවත් පාර්ලිමේන්තුවාදී ධනපති පක්‍ෂයක් බවට ජවිපෙ පත්ව ඇති බව තවත් නායකයෙකු වන නලින්ද ජයතිස්ස පසුගියදා රුපවාහිනි විවාදයකදී ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශය ගැන බැලීමේදී පැහැදිලි වේ. ජවිපෙ (ජාජබ) ආණ්ඩුවක් යටතේ අධ්‍යාපනය විශේෂයෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය පූද්ගලීකරණය කිරීමට විරුද්ධ නොවවුද එය සිදු කරනු ලබන්නේ ඔවුන්ගේ අධීක්‍ෂණය යටතේ බවත් නලින්ද ජයතිස්ස පවසන ලදි. මෙය මොන තරම් විහිලු කථාවක්ද යන්න තේරුම් ගැනීම අපහසු නොවේ.
ඊළඟ වැදගත් කරණයක් වනුයේ ජවිපෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගැනීම ගැන පැහැදිලි ප්‍රකාශයක් නොකර සිටිමේ වංචාකාරී හැසිරීමයි. 2022 මාර්තු මස ආර්ථික අර්බුදය උග්‍ර තැනකට පත් වූ අවස්ථාවේ ආණ්ඩු පක්‍ෂය හැර අන් සියලු පක්‍ෂ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය මුදල ගෙවා දැමීම නතර කරනු ලෙස ඉල්ලා සිටි පසු බිමක ජවිපෙ පමණක් එම ණය මුදල ගෙවා දැමිය යුතු බවට විජිත හේරත් විසින් කරන ලද ප්‍රකාශය ඔවුන් කෙතරම් නවලිබරල්වාදී ක්‍රියාදාමයට යටත්ව කටයුතු කිරීමට සුදානම් බව ප්‍රදර්ශණය කිරීමකි. ෂඵත් වැඩපිළිවෙල ඔවුන්ගේ ඊනියා අධීක්‍ෂණය යටතේ ක්‍රියාවට දැමීමට ජවිපෙ සුදානම් බව මේ වන විට තහවුරු වී අවසානය. ආර්ථික වශයෙන් ධනේෂ්වර වැඩපිළිවෙල පිළිගැනීම පමණක් නොව දේශපාලන ව්‍යාපාරයක් වශයෙන් ජවිපෙය සිංහල බෞද්ධ මතවාදය පෙරටුකර ගත් ව්‍යාපාරයක් බවට පත්ව ඇත. ජවිපෙ නායක අනුර කුමාර “දේශයේ අපේක්‍ෂාව” යන මැයෙන් ඉදිරිපත් කරන ලද ඔවුන්ගේ වැඩපිළිවෙල පිළිගැන්වීම සඳහා ප්‍රධාන බෞද්ධ නායකයින් වන මල්වතු අස්ගිරි මහනායකයින් වන්දනාවේ යෑමෙන් ඔවුන්ගේ සිංහල ජාතිවාදී සැබෑ ස්වරූපය පෙන්නුම් කරයි.
ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ “ජාතික ආරක්‍ෂාව” සඳහා “ශ්‍රි ලාංකිය” ජාතියක් හැදීමට කථා කිරීමෙන් ඔවුන්ගේ ලියවිල්ලේ සඳහන් කර තිබෙන කාරණය සත්‍යයක් නොවන අතර එවැනි ශ්‍රි ලාංකීය ජාතියක් මේ රටේ කිසි දිනක නොපැවති එකකි. මේ රටේ ශ්‍රි ලාංකිය පුරවැසියන් ඇතත් ශ්‍රි ලාංකික ජාතියක් ඇත්තේ නැත. ශ්‍රි ලාංකිය ජාතිය යනුවෙන් ඇත්තටම කථා කරන්නේ බහුතර සිංහල බෞද්ධ අනන්‍යතාවයට බව සැඟවිය නොහැකි කරුණකි. පසුගිය කාලයේ ජාතික ජන බලවේගය විසින් සම්පාදනය කරන ලද “ජාතික සමගිය – එක රටක්, විවිධත්වයෙන් හා සමානාත්මතාවයෙන් බැඳුණු, ශ්‍රි ලාංකේය ජාතියක්” යනුවෙන් නිකුත් කරන ලද ප්‍රකාශණයේ ජාතික සමගිය හා සංහිඳියාව යන උප ශිර්ෂයේ සඳහන් කොටසේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගොඩනැගීමේ අවශ්‍යතාවය ගැන සඳහන් කර තිබුණද දෙමළ ජනතාවගේ ජාතික ප්‍රශ්ණය විසදීම ගැන කිසිදු සංයුක්ත යෝජනාවක් සඳහන් කර නොමැත. එපමණක් නොව අඩුම තරමින් හමුදාව උතුරෙන් ඉවත් කිරීම හෝ හමුදාව බැරැක්ක වලට සීමා කිරීම ගැන සඳහන් නොකිරීම බරපතල ප්‍රශ්ණයක් මතු කරනු ලබයි. එපමණක් නොව “ජාතික ප්‍රශ්ණය විසඳීම සඳහා ප්‍රවේශයක්” යනුවෙන් වන ජවිපෙ ප්‍රකාශණයේ මෙසේ සඳහන් වේ. “එක් පසෙක උතුරට පොලිස් බලතල හා ඉඩම් බලතල සහිත පළාත් සභා එපා යයි කියන සිංහල ජාතිවාදී කණ්ඩායම් සිටින අතර අනෙක් පස සිටින්නේ අඩු නැතිව පළාත් සභා ඉල්ලන දෙමළ ජාතිවාදී කණ්ඩායම්ද, බෙදුම්වාදී සංවිධාන හා පුද්ගලයින්, ඉන්දියානු ධනපති ආණ්ඩුව හා අධිරාජ්‍යවාදීන්ය.” (ජාතික ප්‍රශ්ණය විසඳීම සඳහා ප්‍රවේශයක් 4 පිටුව 2 වන ජේදය)
“ලංකාවේ ජාතික ප්‍රශ්ණයට විසඳුම බලය බෙදීම බව පවසා ඒ වෙනුවෙන් ගෙන ආ බලය බෙදීමේ ව්‍යුහය වූ පළාත් සභා මු`ඵමනින්ම අසාර්ථක විය. එය බෙදුම්වාදීන්ට සේවය කරන්නක් මිස ජාතික ගැටලුවට විසඳුමක් වූයේ නැත.” (ජවිපෙ, ජාතික ප්‍රශ්ණය විසදීම සඳහා ප්‍රවේශයක් – අන්තිම පිටුව)
ජවිපෙය කිසි දිනක ජාතික ප්‍රශ්ණය පංති දෘෂ්ඨියෙන් විග්‍රහ කිරීමට අසමත් වූ අතර ඔවුන් ජාතික ප්‍රශ්ණය දෙස බැලුවේ සිංහලවාදී දෘෂ්ඨියෙන් බව ඉහත ප්‍රකාශයෙන් පැහැදිලිව දැකිය හැකිය. ජවිපෙය වචන හරඹ කිරීම් හරහා සිය සිංහල ජාතිවාදී ස්ථාවරය සැඟවීමට කටයුතු කිරීම බහුලව දැකිය හැකිය. එසේ වුවද එම පක්‍ෂයේ නායකයින්ගේ ජාතිවාදී ස්ථාවරයන් වරින් වර ප්‍රකාශයට පත් කර ඇත. මේ එවැනි උපුටා දැක්වීමකි.
“මේක ඇත්ත ඉතිහාසයද? අපේ රටට සෘජු ආක්‍රමණයක් කළේ කවුද, ඒ ඉන්දියාවයි. ඇයි මේ සත්‍ය අපේ ඉතිහාසයේ ලියන්න බැරි, බයද, පාවාදීපු අයට ලියන්න කැතද? ඔව් අපි දන්නවා කැතැයි කියලා. මේ රටේ දී 1987 දී සිදුවු ඇත්ත දෙයක් තිබෙනවා. ඒක ඉතිහාසයේ තිබෙනවා. ඒක ට්‍රාන්ස්පෝමර කථාවකින්, අයිඩෙන්ට් කාඩ් එකතු කළ කථාවකින් වළලන්න දෙන්න බැහැ. එදා මේ රටේ තිබුණේ දේශ ප්‍රේමී අරගලයක්, ලංකාවේ කෞතුකාගාරයේ තැබිය යුතු නමුත් එතැන නොමැති වටිනා දෙයක් තිබෙනවා”
ලංකාවේ හමුදාව ජේ.ආර්. ජයවර්ධනයා යටත් කළා. ඒ හමුදාවෙ එක තුවක්කුවයි ආක්‍රමණිකයාට එරෙහිව පත්තු වුණේ. ඒ රජිව් ගාන්ධිට ගහපු තුවක්කුව. ඒ තුවක්කුව තියෙන්න ඕනෑ ලංකාවේ කෞතුකාගාරයේ , (ලාල්කාන්ත 2013.05.28 දින ලංකාදීප) අවධාරණය අපේ.
ජවිපෙ සැඟවුනු ජාතිවාදය ගැන ප්‍රශ්ණ කරමින් දේශපාලන විශ්ලේෂකයෙකු වන ආචාර්ය සුමිත් චාමින්ද විසින් ලියන ලද ප්‍රකාශයක් උපුටා දැක්වීම වැදගත් යයි සිතමි.
“පසුගියදා ජාතික ජන බලවේගයේ නීතිඥයෝ විසින් 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන පුවත් පත් සාකච්ඡාවක් පැවැත්වුහ. එම පුවත ජනතා විමුක්ති පෙරමුණට අයත් “Lanka Truth” වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබුණේ පහත සිරස්තලය සහිතවය. ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයෙන් දිවුරුමට අදාල 7 වන උප ලේඛණය ඉවත් කිරීමෙන් වෙනම රාජ්‍යයක් ගොඩනැගීම සූක්‍ෂමව ශක්තිමත් කරලා තිබෙනවා.”ජාතික ජන බලවේගයේ නීතිඥ සුනිල් වටගල උපුටා දක්වමින් එම පුවත සඳහන් කර ඇත. (2020.09.13 දින රාවය පුවත්පත)
එම ලිපියේ කතෲ වරයා වන සුමිත් චාමින්ද තව දුරටත් මෙසේ ප්‍රශ්ණ කරනු ලබයි. ප්‍රශ්ණය වන්නේ ජාතික ජන බලවේගයේ නීතිඥයින් මෙවන් අර්ථකතනයක් ඉදිරිපත් කිරීමට උත්සුක වන්නේ මන්ද යන්නයි. මෙය පසුගිය දිනක අනුර කුමාර දිසානායක පළාත් සභා අහෝසි කිරීම සම්බන්දයෙන් ඉදිරිපත් කළ අදහස සමග එකට ගෙන කියවූ විට ගම්‍ය වන්නේ කුමක්ද? මෙයින් ගම්‍ය වන්නේ ජාතික ප්‍රශ්ණය සම්බන්දයෙන් බහුත්වවාදී ප්‍රවේශයක් සඳහා පොදු එකඟ තාවයක් ගොඩනගා ගැනීමට ජාජබ නායකත්වය තවමත් අසමත් වී ඇති බවය. එනම් තවමත් නොවිසඳුන ජාතික ප්‍රශ්ණය ජාතික ජන බලවේගයේ ප්‍රජාතන්ත්‍රික ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙලේ කේන්ද්‍රීය අංගයක් බවට පත්ව නොමැති බවයි. (රාවය, 2020.09.13 – සුමිත් චාමින්ද – අවධාරණය අපේ) කරුණ මෙසේ තිබියදි ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රිවරිය වන හරිනී අමරසූරිය පසුගියදා ප්‍රකාශ කළේ 13+ ක්‍රියාත්මක කිරීමට ඔවුන් සුදානම් බවය. හරිනි විසින් මෙම ප්‍රකාශය කිරීමෙන් අනතුරුව ඇය දැඩි ලෙස නිහඩතාවයකින් පසුවීම කියාපාන්නේ ඇයගේ ප්‍රකාශය කෙරෙහි ජා.ජ.බලවේගයේ නායකයින් එම ප්‍රකාශයට එකඟ නොවන බව විය යුතුය.
විජේවීර සමයේ සිට ජාතික ප්‍රශ්ණය අරබයා මාක්ස්වාදී ස්ථාවරයක නොසිටි ජවිපෙය මේ වන විට බහුතර සිංහල ජනතාවගේ ඡන්දයෙන් බලයට පත්වීම සඳහා ක්‍රමානුකූලව වෙනදාටත් වඩා ජාතිවාදී ස්ථාවරයන් කරා ගමන් කර ඇති බවය. එම පක්‍ෂයේ තවත් ප්‍රධාන පෙලේ නායකයෙකු වන සුනිල් හඳුන්නෙත්ති විසින් ඉන්දියාවේ ධනුස්කොඩියේ සිට ලංකාවේ මන්නාරම හරහා ත්‍රිකුණාමලය දක්වා ඉදිකිරීමට යෝජිත අලුත් පාර සම්බන්ධයෙන් මෙසේ ප්‍රකාශ කර තිබුණි.
“මෙම යෝජිත පාර ඉදිකිරීම මගින් ලංකාවේ ස්වාධිපත්‍යයට හා ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් එල්ල වනු ඇත.” (සුනිල් හඳුන්නෙත්ති)
චීනය, ලංකාව තුළ සිදු කෙරෙමින් පවතින කොළඹ වරාය නගරය වැනි අතිවිශාල පරිසර විනාශයන් ඇතුලු විනාශකාරී ක්‍රියාදාමයන් ගැන හීන් කෙදිරියකින් ඇඟ බේරා ගන්නා ජවිපෙය ඉන්දියානු විරෝධය නැවත මතු කරන්නේ විජේවීර සමයේ ඉන්දියානු ව්‍යාප්තවාදයට අලුත් පිටුවක් එකතු කරමිනි. යුද්ධය පැවති සමයේ රාජපක්‍ෂ පාලනයට යුද්ධය ගෙන යාමට පූර්ණ සහයෝගය දුන් ජවිපෙය ඒ හරහා උතුර – නැගෙනහිර ද්‍රවිඩ හා මුස්ලිම් ජනතාවට එරෙහිව ජාතිවාදය පෝෂණය කිරීමට දායකත්වය සපයනු ලැබීය. ජාතික ප්‍රශ්නය මාක්ස්වාදී දෘෂ්ඨියෙන් විග්‍රහ කර ඉන්දු – ලංකා ගිවිසුමට එරෙහිව කම්කරු පංතිය ඇතුලු වමේ බලවේග සන්නද්ධ කරනවා වෙනුවට ජවිපෙය සිදු කලේ ජාතිවාදය පදනම්ව දකුණේ සිංහල සමාජය ජාති වාදයෙන් ගිනියම් කිරීමය.
1964 දී පැරණි වමේ පක්‍ෂ ධනපති සහන ආණ්ඩුවට ඇතුල් වීම දැඩි ලෙස විවේචනය කරමින් ආරම්භ කරන ලද ජවිපෙය චන්ද්‍රිකා සමග සභාග ආණ්ඩු වලට ඇතුල් වීම සිදු කරනු ලද්දේ පරිවාස ආණ්ඩු නමින් එය හඳුන්වා තම අනුගාමිකයින් නොමග යවමිනි. ජවිපෙ නායකත්වය අභ්‍යන්තරයේ සභාග ආණ්ඩුවලට ඇතුල් වීම කළ යුත්තේ කෙසේද යන්න ගැන විශාල සාකච්ඡාවක් පැවතීය. 2005 ජනාධිපතිවරණය අරභයා එම පක්‍ෂය තුල පැවැති සාකච්ඡාව සඳහා එවකට පක්‍ෂ නායකයා වූ සෝමවංශ අමරසිංහ ඉදිරිපත් කළ අභ්‍යන්තර ලියවිල්ලේ මෙසේ සඳහන් කර ඇත.
“මේ අවස්ථාවෙ පොඑපෙ සමග සභාග ආණ්ඩුවක් හැදීම හරහා අපේ පක්‍ෂයට අවාසි වලට වඩා වාසි හිමිවේ. අපේ පක්‍ෂය බලය කරා යන ගමන එම වාසි තුළ වඩා වේගවත් කළ හැකිය. සභාග ආණ්ඩුවක් තුළ අපේ පක්‍ෂය ධනපති පංතිය යට නොකර පවත්වා ගත හැකි තත්වයක් දැන් පවතී. අනෙක් අතට අපේ පක්‍ෂයට ශ්‍රි ලංකා නිදහස් පක්‍ෂය යම් මට්ටමකට යට කිරීමට හා එම පක්‍ෂය මෙහෙය වීමට හැකියාවක් පවතී” – (සෝමවංශ අමරසිංහගේ අභ්‍යන්තර ලියවිල්ල – අංක 14)
ජවිපෙ මෙම නිර්මාක්ස්වාදී විග්‍රහයන් 64 හා 70 දශකයේ සමසමාජ හා කොමියුනිස්ට් පක්‍ෂ නායකයින් ශ්‍රිලනිපය සමග සභාග ආණ්ඩුවලට ඇතුලත් වීම සඳහා එම පක්‍ෂ අභ්‍යන්තරයේ සිදු කළ අධි තක්සේරු හා වැරදි න්‍යායාත්මක විග්‍රහයන් වලට වඩා කිසි ලෙසකත් වෙනස් වන්නේ නැත. මෙයින් පෙන්නුම් කරන්නේ පැරණි සාම්ප්‍රදායික වමේ නායකයින් මෙන්ම ජනතා විමුක්ති පෙරමුණද කිසිදිනක මාක්ස්වාදී පක්‍ෂයක් නොවු බවය. මේ වන විට සමාජවාදයේ සියලු ගුණාංග අත්හැරදමා වේගයෙන් විකල්ප ධනපති පක්‍ෂයක් බවට ජවිපෙ හා ජාතික ජන බලවේගය පත් වෙමින් තිබෙන අන්දම තේරුම් ගැනීම වැදගත්ය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සමගි ජනබලවේගය ප්‍රකාශ කරන්නේ ඔවුන්ගේ අනාගත ආණ්ඩුවක රටේ ආරක්‍ෂාව හිටපු හමුදාපති සරත් පොන්සේකාට දෙනු ලබන බවය. එයට තරඟකාරිව ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක පසුගියදා විශ්‍රාමික හමුදා නිලධාරින් සමග කළ සාකච්ඡාවකින් පසුව ප්‍රකාශ කරනු ලැබුවේ ඔවුන්ගේ ආණ්ඩුවක් යටතේ රටේ ආරක්‍ෂාව සඳහා විශ්‍රාමික හමුදා නිලධාරියෙකු පත් කරන බවය. ධනේෂ්වර පාලන රටාව ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන යාම සඳහා අනුර කුමාරලා කටයුතු කරන බව මෙයින් මනාව පැහැදිලිවේ.
සරළව සංසන්දන කිරීමට නොහැකි වුවද ස්පාඤ්ඤයේ බිහිවු රැඩිකල් වාමාංශික බලවේගයක් වූ පොඩෙමෝස් (Pedemos) පක්‍ෂයේ නැගීම හා වැටීම දෙස බැලීමෙන් ජවිපෙ පිරිහිම තේරුම් ගැනීමට ඉවහල්වේ. 2014දී පොඩෙමෝස් (“අපිට පුලුවන්” යන්න මෙහි තේරුමයි) නමින් අලුත් පක්‍ෂයක් ගොඩ නගන විට ස්පාඤ්ඤය තුළ බරපතල දේශපාලන අර්බුදයක් සමග සාම්ප්‍රදායික පක්‍ෂ කැඩී යාම ආරම්භ විය. 2017 වසරේදී ස්පාඤ්ඤයේ කැටලෝනියානු ප්‍රාන්තයේ ඇතිවූ නිදහස ලබා ගැනීමේ ව්‍යාපාරයේදී පොඩෙමෝස් පක්‍ෂයේ ප්‍රතිපත්ති හා දැක්ම සම්බන්ධයෙන් “ලිට්මස් පරීක්‍ෂණයක් විය. ඔවුන් කැටලෝනියානු ජනතාවගේ ස්වයං නිර්ණය අයිතිය පිළිනොගත් අතර ඔවුන්ගේ වැනෙන සු`ඵ ස්ථාවරය වූයේ දෙපාර්ශවයේ කැමැත්ත පරිදි විසඳුමක් ලබා ගත යුතු බවයි. පොඩෙමෝස් පක්‍ෂයේ නැගීම හා කඩා වැටීම තුළින් ලංකාව වැනි රටවල ජනතාවට ඉගෙන ගැනීමට බොහෝ කරුණු ඇත. තම ප්‍රතිපත්ති අත්හැර දමා වැඩි ජනප්‍රසාධයක් දිනා ගැනීමේ අරමුණු ඇතිව ධනපති පංතියට ගැති ප්‍රතිපත්ති වලට අනුගත වීමෙන් කිසිදිනක සාර්ථක ගමනක් යා නොහැකි බව පොඩෙමෝස් ව්‍යාපාරයෙන් ඉගෙන ගත හැකිය.
ජාතික ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ කිසිදු අර්ථයකින් පවතින ධනේෂ්වර ක්‍රමයට විකල්පයක් නොවන බව හා සමාජ ආර්ථික හා දේශපාලන වශයෙන් ඔවුන් ධනපති ක්‍රමයේ ආරක්‍ෂකයින් බවට පත්ව තිබෙන බව ඉහත දක්වන ලද ඔවුන්ගේම ප්‍රකාශයන් තුළින් නිගමනය කළ හැකිය. පැහැදිලිවම ජවිපෙ නවලිබරල් ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යාම සඳහා අධිරාජ්‍යවාදීන් සමග සම්මුති වලට එළඹ තිබෙන බව එම පක්‍ෂයේ නායකයින් ඇමරිකානු හා බි්‍රතාන්‍ය තානාපතිවරුන් හමුවී කරන ලද සාකච්ඡා වලින් වැඩි දුරටත් පැහැදිලි වේ. මෙම යථාර්තය තේරුම් ගනිමින් අර්බුදයේ කරවටක් ගිලී සිටින ලාංකීය ධනේෂ්වර අර්බුදය ඉදිරියේ ජවිපෙය කරන රැඩිකල් කථාවලට නොරැවටී ධනපති ක්‍රමය පෙරලා දමා සමාජවාදී විකල්ප බලයක් ගොඩ නැගීම වෙනුවෙන් සටන් වැදීම හැර වෙනත් කෙටි මාවත් නොමැති බව අවධාරණය කළ යුතුය.
– සිරිතුංග ජයසූරිය –