Home / Articles / වෙඩි තබන මිනී මරන – පොලිස් ”යුක්තිය” – ශ්‍රිනාත් පෙරේරා

වෙඩි තබන මිනී මරන – පොලිස් ”යුක්තිය” – ශ්‍රිනාත් පෙරේරා

රට තුළ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට ක්‍රියා කරන බවට පොරොන්දු වෙමින් රජ පුටුවේ වාඩි වූ රනිල් වික්‍රමසිංහ පාලනයේ මහජන ආරක්ෂාව භාර ඇමතිවරයා වන ටිරාන් අලස්ගේ සහ ඔහුගේ වැඩබලන පොලිස්පතිවරයා වන දේශබන්දු තෙන්නකෝන්ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන යුක්තිය නමින් හඳුන්වන පොලිස් මෙහෙයුම සම්බන්ධයෙන් මේ වනවිට බොහෝ දේ ලියවිලා තියෙනවා. මූලික වශයෙන් රටේ පවතින මත්ද්‍රව්‍ය උවදුර සහ සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම අරමුණු කරගෙන ක්‍රියාත්මක කරන්නේය කියන මෙම මෙහෙයුම තුළින් සැකකරුවන් 700, 800, 1000 ආදී වශයෙන් අත්අඩංගුවට ගන්න බව දිනපතා මාධ්‍යවල වාර්තා කෙරුණා. මෙහෙයුම පටන් ගෙන මාසයක් පමණ යනතුරු ක්‍රියාදාම චිත්‍රපටයක ජවනිකා වගේ තමයි මේ මෙහෙයුම ක්‍රියාත්මක වන ආකාරය රූපවාහිනී තිර මත දිගහැරුනෙ.
ටිරාන් අලස් ඇමතිවරයා ඒ දවස්වල කිව්වෙ කාටවත් කරන්න බැරුව හිටපු දෙයක් එයා දැන් කරනව කියලයි. කුඩු සහ පාතාලය මුලිනුපුටා දමන ආඩම්බර කතා තමයි කිව්වෙ. ජූනි පළවැනිදා වෙත කොට මත්කුඩු උවදුර තුරන් කරන කතා අපට මතකයි. පාතාලයේ අපරාධ කරන අයට එයා කිව්වෙ මැරුම් කන්න එපා කියලයි. අපරාධ කළොත් නඩු අහනවා, හිරේ දානවා නෙවෙයි මැරුම් කන්නයි වෙන්නෙ ටිරාන් අලස්ගේ නීතියට අනුව.

ඒ කියන්නෙ ටිරාන්-දේශබන්දු කල්ලියේ අපරාධ මර්දනයේ මූලෝපාය වෙලා තියෙන්නෙ අපරාධකරුවන් කියල ඔවුන් හඳුන්වන අය ඝාතනය කිරීමයි. නීතිමය ක්‍රියා පටිපාටිය අනුගමනය නොකොට මේ විදියට මරාදමන එක ජාත්‍යන්තර නීතියේ extra judicial killings කියන පදයෙන් හඳුන්වන්නෙ. පහුගිය කාලයක් පුරාම දේශබන්දු තෙන්නකෝන් හඳුන්වා දුන් මේ ක්‍රමවේදය තමයි පොලිසිය අනුගමනය කළේ අපරාධ මර්දනයේ නාමයෙන්. සඟවා තියෙන බෝම්බ, ආයුධ, මත්කුඩු පෙන්වනවය කියල අපරාධ සැකකරුවන් පාලු කැලෑබද ප්‍රදේශයකට රැගෙන ගිහින් පොලිසියට වෙඩි තියන්න, බෝම්බ ගහන්න හැදුවය කියල ඒ සැකකරුවන්ට වෙඩි තියල මරන එකයි දේශබන්දු අපරාධ මර්දනය සඳහා යොදාගත් වැඩපිළිවෙළ වුනේ.

මේ විදියට ඇතැම් අවුරුදු තිබුණ සැකකරුවන් 5 දෙනෙකුට වැඩි ගණනක් පොලිසිය විසින් වෙඩි තියල මරාදමන ලද. මේ හැම ඝාතනයක්ම පොලිසිය සිදු කර තිබුණේ මහරෑ හෝ අළුයම් කාලයේ කිසිදු බාහිර කෙනෙකුට දැකගන්න හෝ දැනගන්න බැරි ආකාරයෙන්. මේ කිසිදු ඝාතනයක් සම්බන්ධයෙන් සාධාරණ මරණ පරීක්ෂණයක් සිදුකෙරුනේ නැහැ. මරණය සිදුවූ ආකාරය ගැන තියෙන්නෙ පොලිසිය කියන දේ විතරක් නිසා. පොලිසිය කියන දේ තමන්ට වෙඩි තියන්න හදපු නිසා ආත්මාරක්ෂාව සඳහා පෙරළා වෙඩි තියන්නට සිදුවූ බවත් එහිදී සැකකරු ජීවිතක්ෂයට පත්වූ බවයි පොලිසිය කියන්නෙ. ඒ හැර වෙනත් සාක්කි මොකුත් නැති නිසා පොලිසිය කියන දේ පිළිගෙන ආත්මාරක්ෂාව සඳහා කළ සාධාරණ වෙඩි තැබීමක් කියල තීන්දු කරන්නට විනිසුරුවරයාට සිදුවෙනව.

වෙඩි තියල මරාදාල පටන්ගත් ක්‍රියාදාමය වෙන විධියකින් ක්‍රියාත්මක කිරීමක් තමයි යුක්තිය නමින් දැන් කරගෙන යන්නෙ. දැන් ඒක ප්‍රධාන වශයෙන් මත්කුඩු උවදුර තුරන් කිරීමේ මෙහෙයුමක් හැටියටයි සමාජය ඉස්සරහට අරගෙන යන්නෙ. මුලදි නම් රූපවාහිනී පුවත්වල මුල් පුවතට පෙන්නුවෙ මේ මෙහෙයුම යටතේ පොලිස් බල්ලනුත් දාගෙන ගෙවල් ඇතුළ නොපිට පෙරලන එක. හෙරොයින්, අයිස්, ගංජා මෙච්චර හොයාගත්තය, අච්චර හොයාගත්තය කියමින් ටිරාන් දේශබන්දු දෙන්න ා රනිල් වික්‍රමසිංහගෙ ආශීර්වාදයෙන් මේ ක්‍රියාත්මක කළේ මේ රටේ පීඩිතම ජනතීරුවලට එරෙහි මෙහෙයුමක්. ඉතාම දිළිඳු ජනකොටස් ඉලක්ක කරගෙනයි මේ මෙහෙයුම මෙහෙයවුනේ. ඔවුන් මෙහෙයුම් ක්‍රියාත්මක කළ ප්‍රදේශවලම පිහිටි ධනවතුන්ගෙ , බලවතුනගෙ කිසිදු ගෙදරකට මේ මෙහෙයුම ඇතුළු වුනේ නැහැ. ටිරාන් දේශබන්දු දෙන්නා සල්ලිකාරයන්ට, බලපුලුවන්කාරයන්ට බයද? වැරදි කරන තොග වෙළෙඳුන් එළිපිට නිදැල්ලේ සිටියදී කුඩා සිල්ලර වෙළෙඳුන් අල්ලනව වගේ සිල්ලර වැඩක් මේ දෙන්නා මේ කරමින් ඉන්නෙ.

පසුගිය වසර තුන හතර තුළ පොලිසිය එන්න එන්නම පිරිහුනා මිසක් සුද්ද වුනේ නැහැ. සුද්ද කරන්න හැකියාවක් හෝ ඕනකමක් තියෙන ඇමතිවරයෙක් හිටියෙ නැහැ. ඒ නිසාම අපි තමයි ”ලයිසන් චන්ඩි” කියල ලයිසමක් අරගෙන අපරාධ කරන පොලිස් නිලධාරීන් දැන් වැහිවැහැල හැමතැනම. මේ ලයිසන් චණ්ඩි කතාවෙ උච්චම අවස්ථාව තමයි ජනවාරි 18දා නාරම්මලදි උප පොලිස් පරීක්ෂකවරයෙක් සාමාන්‍ය සිවිල් පුද්ගලයකුගෙ ඔළුවටම වෙඩි තිබ්බෙ නගරය මැද්දෙදිම. වෙඩි තිබ්බ විතරක් නෙවෙයි ඊට පස්සෙ ඒ නිලධාරියා හිනාවෙවී ඇවිදගෙනත් යනව. මේ විදියට තමයි ටිරාන් දේශබන්දු දෙන්නා මේ රටේ යුක්තිය සලස්වන්නෙ.

මෙයින් පෙන්නුම් කෙරෙන දේ නම් මේ රට නීතිය යුක්තිය නාමයෙන් පොලිස් රාජ්‍යයක් කරා වේගයෙන් ගමන් කරන බවයි. ජන පදනමක් නැති සහ ජන වරමක් දිනාගන්නටත් බැරි රනිල් ටිරාන් දෙන්නා අද තම බලය පවත්වාගැනීම සඳහා මේ විදියට මත් උවදුර සහ පාතාලය මර්දනය කරන කඩතුරාවට මුවාවී පොලිස් රාජ්‍යයක් ගොඩනැගීමටයි මේ වැඩ කරගෙන යන්නෙ. මේ තත්ත්වය වාමාංශික ව්‍යාපාරය සහ විශේෂයෙන්ම කම්කරු පන්ති ව්‍යාපාරය තේරුම් ගන්න අවශ්‍යයි. මොකද මේ පොලිස් ක්‍රියාදාමයේ අන්තිම ඉලක්කය වෙන්නෙ වැඩකරන ජනතාව මර්දනය කිරීම. වැඩකරන ජනයාගේ සටන්, අරගල මර්දනය නොකර රනිල් වික්‍රමසිංහට තම දේශපාලන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න බැහැ.

පොලිසිය කියන්නෙ නියම අර්ථයෙන් නම් ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහා වන ආයතනයක්. එය ක්‍රියාත්මක විය යුත්තේ ප්‍රජා පොලිස් සේවයක් වශයෙනුයි. පොලිසිය සේවය කිරීමට බැඳී සිටින ප්‍රජාවේ අධීක්ෂණය යටතේයි. ඒ අනුව පොලිසිය වගකිව යුත්තේ ප්‍රජාවටයි. ඒත් මේ රටේ සිද්ධ වෙන්නේ ඒකෙ අනෙක් පැත්තයි. අද මේ රටේ පාලකයන්ගෙ ආරක්ෂකයො (body guards) පිරිසක් විදියටයි පොලිසිය ක්‍රියා කරන්නෙ. සමාජවාදී පාලනයක් තුළදී මේ පොලිස් බලකාය මුළුමනින්ම විසුරුවා හැර අදාළ ප්‍රජාවට වගකියන, ප්‍රජාවේ පාලනයට යටත් නව ප්‍රජා ආරක්ෂක සේවයක් ස්ථාපිත කළ යුතු වෙනවා. එය ප්‍රජාතාන්ත්‍රික ව්‍යුහයක් තුළ පහළ සිට ඉහළටත් ඉහළ සිට පහළටත් වගකීමට බැඳී සිටින මහජන සේවාවක් ලෙස ස්ථාපනය කළ යුතු වෙනවා.

About Taniya

Scroll To Top