Home / Articles / ‘සිරගත කරන දිවයින’ රනිල් පොලිස් රාජ්‍යයක් නිර්මාණය කරයි

‘සිරගත කරන දිවයින’ රනිල් පොලිස් රාජ්‍යයක් නිර්මාණය කරයි

පසුගිය වසර 50කට අධික කාලයක් බලයේ සිටි ධනපති ආණ්ඩු ලංකාව පාලනය කළේ හදිසි නීතිය යටතේය. සිරිමා බණ්ඩාරනායකගේ හවුල් ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණ දියත් කළ කැරැල්ල මර්ධනය කිරීම සඳහා 1971දී හදිසි නීතිය ප්‍රකාශයට පත් කරන ලදී. ඉන් පසුව බලයට පත් සියලු අණ්ඩු හදිසි නීතිය කම්කරු පංතිය ප්‍රමුඛ ජනතාවගේ පොදු විරෝධතා මර්ධනය කිරීමේ ආයුධය ලෙස පාවිච්චියට ගත්හ. 1979 දී උතුරේ යුද්ධ තත්වයට මුහුණ දීම සඳහා කියමින් ජේ.ආර්.ජයවර්ධන විසින් ඉතිහාස ගත ත්‍රස්තවාදය වැලැක්වීමේ (තාවකාලික) පනත සම්මත කර ගත් අතර එතැන්සිට බලයට පත් සියලු ආණ්ඩු විසින් එම පනත තම දේශපාලන උවමනාවන් වෙනුවෙන් නිර්ලජ්ජිත ලෙස යොදා ගන්නා ලදි. මෙම පසුබිම යටතේ ඊනියා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන ලෙස ප්‍රජාතන්ත්‍රවාදය අගයන දේශපාලන පක්‍ෂ, වෘත්තිය සමිති හා බහුජන සංවිධාන විසින් පසුගිය කාලය තිස්සේ අඛණ්ඩ උද්ඝෝෂණයක් ගෙන යමින් පවතී. එසේම ජාත්‍යන්තර සංවිධාන විසින් ද ත්‍රස්තවාදය වැලැක්වීමේ ජනත අහෝසි කරන ලෙස ලංකාවේ ආණ්ඩු වලින් දිගින් දිගටම ඉල්ලා සිටි අතර 2017 දී බ්‍රසල්ස් නුවර පැවැති සමුලුවේදී ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන බවට එවකට අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රසිද්ධ පොරොන්දුවක් දුන්නාය.

ප්‍රභූ පන්තිය රැක ගැනීම

කිසිදු ආකාරයේ ජනතා වරමකින් තොරව අනුප්‍රාප්තික ජනාධිපති ධූරයට පත්වූ රනිල් වික්‍රමසිංහ 1979 සිට ක්‍රියාත්මකව පවතින ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන බව රටට හා ජාත්‍යන්තරයට පෙන්වන මහා ප්‍රෝඩාවක් සඳහා සූදානම් වෙමින් ඇත. එනම් කුරිරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට ත්‍රස්ත විරෝධී පනත යනුවෙන් අලුත් පනතක් නීතිගත කිරීමේ කූට උපක්‍රමයක ඔහු යෙදී සිටීමය. රනිල්ගේ නායකත්වයෙන් ලංකාවේ සිදුවෙමින් පවතින බරපතල වෙනස් කම් හොඳින් හඳුනාගත යුතුය. ඉන් ප්‍රධාන කාරණය වනුයේ නිදහසින් පසු රට පාලනය කළ අන්ත දූෂිත රාජපක්‍ෂ පවුල් පාලනය සමග සන්ධාන ගතව පොලිස් රාජ්‍යයක් නිර්මාණය කිරීමට දරණ උත්සාහයයි. දෙවන කාරණය වනුයේ ඇමරිකාව – ඉන්දියාව ප්‍රමුඛව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වලට ලංකාව හිරකර වහල් දුපතක් නිර්මාණය කිරීමය. රනිල්ගේ කයිවාරු කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අප වෙත බලහත්කාරයෙන් පටවා තිබෙන කොන්දේසි ගැන රටක් වශයෙන් අප ලැජ්ජාවට පත්විය යුතුය. අනුප්‍රාප්තික ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ බලයට පත්වූ පසුගිය වසරේ (2022) ජුලි මාසයේ ආරම්භයේ සිටම ඔහුගේ පාලන විධි ක්‍රමය වූයේ ලංකාවේ මෙතෙක් පැවති පොලිස් ආඥා පනතට අලුත් අර්ථකථන දෙමින් එය තමන්ට අවශ්‍ය පරිදි ක්‍රියාවට යෙදවීමට කටයුතු කිරීමය. මෙයට හේතුවන්නේ පසුගිය වසරේ දියත්වූ ගෝල්ෆේස් අරගලය විසින් නිර්මාණය කෙරුණු අති දැවැන්ත ජනතා නැගිටීම විසින් ජනාධිපතිධූරය හෙබවූ ගෝඨාභය රාජපක්‍ෂ එළවා දැමීම සිදු කිරීමට සමත් වීමයි. රනිල් බියට පත්ව ඇත්තේ මෙවන් ජනතා නැගිටීමක් නැවත ඇතිවේය යන්න ගැනය.

ගෝඨාභය පාලන බලයෙන් එළවා දැමීම මූලික කරගත් ජනතා අරගලයේ තවත් ඉල්ලීමක් වූයේ රටම අහිත කර විධායක ජනාධිපති ක්‍රමය අහෝසී කළ යුතුය යන්නය. ගෝඨාභයගේ පාලනය යටතේ බරපතල අර්බුදයට පත්වෙමින් තිබු විධායක ජනාධිපති ක්‍රමය බේරා ගැනීමේ හා එය ආරක්‍ෂා කිරීම ධනපති පාලක ප්‍රභූ පන්තියේ නව නායකයා ලෙස තමන් වෙත පැවරී තිබෙන කාර්්‍යයක් ලෙස රනිල්ගේ කියවීම වී තිබේ. වික්‍රමසිංහ ඒ සඳහා කටයුතු කරන්නේ ඉතිහාසයේ දැවැන්තම අර්බුදයට මුහුණ දී සිටින ධනපති ක්‍රමය බේරා ගැනීම සඳහා පොලිස් රාජ්‍යයක් නිර්මාණය කර එයට අලුත් ජීවයක් ලබා දීමය. වික්‍රමසිංහ නියෝජනය කරන ඉහල ප්‍රභූ පැලැන්තියේ හා පෞද්ගලිකව ඔහුගේද දේශපාලන පැවැත්ම සඳහා පොලිස් රාජ්‍යයක් නිර්මාණය කළ යුතු බව ඔහුගේ අදහස වී තිබෙන බව ඉතා පැහැදිලිය. අරගලයෙන් ලාංකීය දේශපාලන අනාගතයට වැදගත් හා අමතක නොවන පාඩම් රාශියක් උගන්වන ලදි. පැහැදිලි දේශපාලන ඉදිරි දැක්මකින් තොරව ක්‍රියාත්මක කෙරුනු අරගලයේ ප්‍රථිපලයක් ලෙස ජනාධිපතිධූරයට රනිල් වික්‍රමසිංහ අහම්බෙන් පත් කෙරින. එතැන් සිට ඔහු ලාංකීය සමාජය ඉල්ලා සිටින සමාජ, ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරන වලට එරෙහිව සතුරු ආකාරයකින් කටයුතු කිරීම පෙන්නුම් කරන්නේ රනිල් අරගලයෙන් කිසිදු පාඩමක් ඉගෙන ගෙන නොමැති බවය. මේ අනුව බලන විට නිදහසින් පසු ලංකාව පාලනය කළ පිරිහුණු හා දූෂිත ප්‍රභූ දේශපාලන පැලැන්තියේ අවසාන පුරුක රනිල් විය හැකිය.

ජනාධිපති වීමෙන් අනතුරුව ඔහුට ධනපති දේශපාලඥයෙක් වශයෙන් හෝ දුරදිග යන කිසිදු දේශපාලන ප්‍රතිසංස්කරනයක් කිරීමට සමත් වූයේ නැත. ජනාධිපතිධූරයට පත් වීම සමග ජාතික ආණ්ඩුවක් ගොඩ නගන බවට කළ මහා ඝෝෂාව වැඩි ආයුෂ තිබුණේ නැත. 2023 පෙබරවාරි 04 නිදහස් දිනයට පෙර දෙමළ ජනතාවගේ ජාතික ප්‍රශ්ණය විසඳීම සඳහා 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාවට නංවන බවට කයිවාරු ගැසු අතර ඒ වෙනුවෙන් උතුරේ දෙමළ දේශපාලන පක්ෂ සමග අටවා ගත් සන්ධානය දුරදිග ගෙන යාමට නොහැකිව කඩා වැටුණි. දැන් අංශක 180ක් ආපසු කැරකැවී ජාතික ආණ්ඩුවක් ගොඩ නැගීම ගැන නැවත සාකච්ඡාවක් ආරම්භ කර ඇත්තේ විසකුරු ත්‍රස්ත විරෝධී පනත ක්‍රියාවට නැංවීම ආවරණයක් සපයා ගැනීම සඳහාය.

මෙම යෝජිත ත්‍රස්ත පනතෙන් කර තිබෙන භයානකම කටයුත්ත වන්නේ ත්‍රස්තවාදය යන්න සඳහා ලබා දී තිබෙන ඉතාම ලිහිල් අර්ථකථනය වන්නේය. මෙම යෝජිත පනත සම්මත වුවහොත් හා ඊට ශ්‍රේෂ්ඨාධිකරනයෙන් අනුමත වුවහොත් දේශපාලන වශයෙන් පවතින ආණ්ඩුවට විරුද්ධව සිතන පතන හා කටයුතු කරන ඕනෑම පුරවැසියෙකු ත්‍රස්තවාදියෙකු යැයි රාජ්‍ය විසින් සැකකොට අත්අඩංගුවට ගෙන සිරගත කිරීමට හැකිය. මෙම කාරණය තව දුරටත් පැහැදිලි කරන්නේ නම් යෝජිත පනතේ ත්‍රස්තවාදය යන වචනය අර්ථකථනය කිරීම තුලින් ත්‍රස්තවාදී ක්‍රියාවන්, ත්‍රස්තවාදයට අනුබල දීම, ත්‍රස්තවාදය හා මාධ්‍ය සම්බන්ධ කිරීම, මාධ්‍ය විසින් ත්‍රස්තවාදය ප්‍රචාරය කිරීම යන කරුණු අන්තනෝමතික ලෙස අර්ථකථනය කර තිබේ. මෙමගින් පෙන්නුම් කරන්නේ ලංකාවේ (වර්තමාන) පාලක පන්තිය ප්‍රජාතන්ත්‍රවාදයට වෛර කරන ධනපති කල්ලියක් බවයි. ඔවුන් සූදානම් වන්නේ දේශපාලනිකව පිබිදෙන ජනතාව හා කම්කරු පංතිය ත්‍රස්තවාදීන් ලෙස නම් කර ඔවුන්ට සිරගත කිරීමටය. ඊනියා නිදහසින් පසු රට පාලනය කළ ප්‍රභූ ධනපති පාලකයින් විසින් නිර්ප්‍රභූ කම්කරු පංතිය ප්‍රමුඛ පීඩිත ජනතාව සහ දෙමළ සු`ඵතර ජනතාව මත අනුකම්පා විරහිතව මර්ධනය මුදාහැරීම ඔවුන්ගේ ආවේනික ලක්‍ෂණයක් විය. රනිල් වික්‍රමසිංහ එම උමතු රෝගයෙන් බරපතල ලෙස රෝගාතුර වී ඇති බව ඔහුගේ බියගුලු ක්‍රියාවන් තුලින් පෙන්නුම් කෙරේ.

විපක්‍ෂයේ නොහැකියාව හා අසමත්කම

තත්වය මෙසේ වුවද රනිල් වික්‍රමසිංහගේ මෙම භයානක පියවරයන් පරාජය කිරීම සඳහා විපක්‍ෂයේ ප්‍රධාන දේශපාලන කණ්ඩායම් වෙතින් ප්‍රකාශ වන්නේ ඉතා පසුගාමී තත්වයකි. ඔවුන් තුළ මෙම තත්වයට මුහුණ දීම සඳහා ඉදිරි වැඩ පිළිවෙළක් හා දැක්මක් නොමැති අතර ඔවුන්ගේ හැසිරීම් වලින් පෙන්නුම් කරන්නේ අක්‍රිය හා පරාජිත ස්වභාවයක් හා අධිෂ්ඨානයක් නොමැති වීමයි. එවැන්නක් ඉතා සු`ඵ වශයෙන් හෝ තිබුණේ නම් ඔවුන් කළ යුතුව තිබු පළමු පියවර වන්නේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබු මාර්තු මස 9 වෙනි දින රට පුරා විශාල මහජන විරෝධයක් සංවිධානය කිරීමය. ඒ සඳහා සියලු ආණ්ඩු විරෝධී බලවේග වලට එක්වන ලෙස දේශපාලනික වශයෙන් ආමන්ත්‍රණය කිරීමය. ප්‍රධාන විරුද්ධ පක්‍ෂ වශයෙන් කටයුතු කරන සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගය හා අනුර කුමාර දිසානායකගේ ජාතික ජන බලවේගය විසින් කළ යුතුව තිබෙන්නේ දේශපාලන වශයෙන් එක් වේදිකාවට පැමිණිය නොහැකි වුවද ජනතාවගේ උදුරාගෙන තිබෙන ඡන්ද අයිතිය හා ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීම වෙනුවෙන් එක්ව අරගලය සඳහා පාරට බැසීමට යෝජනා කිරීමය. මෙවැනි පියවරක් නො ගැනීමෙන් මෙම පක්‍ෂ දෙකම පෙන්නුම් කරන්නේ ආණ්ඩුවට එරෙහිව බරපතල අභියෝගයක් එල්ල කිරීම සඳහා සක්‍රිය ජනතා ක්‍රියාකාරිත්වයකට ඔවුන් සූදානම් නොමැති බවය.

විපක්‍ෂයේ ප්‍රධාන කඳවුරු දෙකෙන් ප්‍රකාශ කෙරෙන මෙම පසුගාමීත්වය ජනතා ක්‍රියාකාරිත්වයක් ඇති කිරීමට තිබෙන නොහැකියාවට පමණක් සීමාවි නොමැත. මේ දිනවල වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකතුව කම්කරු පංතිය මුල්වී සිදු කෙරෙන විරෝධතා ව්‍යාපාරය සමග දේශපාලන වශයෙන් අනන්‍ය වීමට සජිත් ප්‍රේමදාස මෙන්ම අනුර කුමාර දිසානායකද පෙන්වන නොහැකියාව බරපතල ප්‍රශ්ණයකි. අසාධාරණ ලෙස පටවා තිබෙන බදු විරෝධය, අධික ලෙස ඉහල දමා තිබෙන විදුලි බිල ඇතුලු ජීවන වියදම් ප්‍රශ්ණය යන ප්‍රශ්ණ වෙනුවෙන් කම්කරු පංතිය, වෘත්තිකයින් හා වෛද්‍ය වරුන් දියත් කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ග ඉදිරියේ දරදඩු රනිල් වික්‍රමසිංහට අඩියක් පසුපසට ගැනීමට බල කෙරින. එම තත්වය තුල වුවද විපක්‍ෂය වාචිකව එයට සහයෝගය ප්‍රකාශ කළ නමුත් සැබෑ ලෙස එම විරෝධතාවය ඉදිරියට ගෙන යාම සඳහා ඉදිරිපත් නොවුනි. ඇත්ත වශයෙන් සිදුවිය යුතුව තිබෙන්නේ ආර්ථික ඉල්ලීම් හා සමාජ අසාධාරණයන්ට එරෙහි අඛණ්ඩ අරගලයක නිරත වෘත්තීය සමිති හා විපක්‍ෂ දේශපාලන බලවේග අතර එක්සත් පෙරමුණක් ගොඩනැගීමයි.

සැබෑ හේතුව වන්නේ මෙම විපක්‍ෂ දේශපාලන ව්‍යාපාර දෙකම අරගලයේ යෙදී සිටින ජනතාව හා කම්කරු පංතියට ගව් ගනනාවක් පිටු පසින් සිටින බවයි. ඔවුන් දෙගොල්ලන්ම මැතිවරණ දේශපාලන සිහිනය දෙස බලමින් මිරිඟුවක් පසු පස දුවන කණ්ඩායම් බවට පත්ව ඇත. ජාත්‍යන්තර අරමුදල සමග රනිල් වික්‍රමසිංහ ඇති කරගෙන තිබෙන ගිවිසුම යටතේ රටේ තිබෙන සියලු මහජන දේපොළ විකුණා දැමීම කෙරෙහි ජනතාව වෙතින් බරපතල විරෝධයක් මතුව ඇත. පසුගිය වසරේ ගෝඨාභයගේ පාලනය යටතේ ඇතිවූ ඉන්ධන හිඟය, ගෑස් හිඟය, විදුලි කප්පාදුව දරාගත නොහැකිව උද්ඝෝෂණය කළ නාගරික මැද පංතියේ කොටසක් මේ වන විට වික්‍රමසිංහ පාලනය කෙරෙහි ස්ත්‍රෝත ගායනා කරන තැනට වැටී ඇති බව පෙනේ. ගෝඨාභය ජනාධිපතිවරයාගේ කාලය තුළ සිදුවූ වැරදි ඔහු පිට පටවා රාජපක්‍ෂ පවුල හා වික්‍රමසිංහ නිර්දෝෂී කර ගැනීමේ අසාර්ථක උත්සාහයක මෙම මධ්‍යම පාන්තික කොටස් යෙදී සිටින බවද පෙනේ. එසේ වුවද සාමාන්‍ය ජනතාව කම්කරු පංතිය හා දුප්පත් ගොවීන් වික්‍රමසිංහ පාලනයට එරෙහිව දිනපතා විවිධාකාර උද්ඝෝෂණ වල නිරතව සිටී.

ගෝඨාභයගේ ‘වැඩ කරන අපේ විරුවා’ නාටකය ලාංකිය දේශපාලන ඉතිහාසයේ අමතක නොවන පාඩමකින් අවසන් විය. එසේ වුවද එම දැවැන්ත ජනතා අරගලය විසින් ලාංකීය සමාජයේ සාධනීය වෙනසක් කිරීමට අසමත් වූ බව අවධාරණයෙන් සඳහන් කළ යුතුය. “ගෝඨා ගෝ හෝම්” යන සටන් පාඨයට සීමාවී අදේශපාලනික ස්වරූපයකින් මතුවූ ජනතා නැගිටීම හරහා ගෝඨාභය එළවා දැමීමට සමත් වුවද “සිස්ටම් චේන්ජ්” එකක් සිදු නොවුනා පමණක් නොව ගෝඨාභයට වඩා දරුණු විසකුරු රනිල් රාජපක්‍ෂට ජනාධිපතිධූරයට පත් කිරීමට පසුබිම සැකසූ බවද අමතක නොකළ යුතු පාඩමකි. රාජපක්‍ෂ වරුන් මේ වන විට නිල වශයෙන් ආණ්ඩු පාලනයට සම්බන්ධ නොවුවද ඔවුන්ගේ සිංහල බෞද්ධ ජාතිවාදී දේශපාලනය තවමත් රට තුළ බලගතු ලෙස හොල්මන් කරන බව පැහැදිලිය. 13 ක්‍රියාත්මක කිරීම සඳහා රනිල් අපේක්ෂා කළ සහයෝගය පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගෙන් නොලැබීම පෙන්නුම් කරන්නේ රාජපක්ෂ වරුන්ගේ දේශපාලනයේ ඇත්ත ස්වභාවයයි.

ගෝල්ෆේස් අරගලය අසමත් වූ රාජපක්ෂවරුන්ගේ දූෂිත දේශපාලනය පරාජය කළ හැකි වන්නේ උතුරේ දෙමළ ජනතාවගේ අරගලය හා බද්ධ වූ කම්කරු පංතිය පෙරටු කරගත් සැබෑ වාමාංශික දේශපාලන වැඩ පිළිවෙලකින් පමණි. මෙම පසුබිම තුළ අරගලය පිට වරද පටවා ඇඟ බේරා ගැනීම පහසු දෙයක් වුවද අප තේරුම් ගත යුතුව ඇත්තේ නිවැරදි දේශපාලන වැඩ පිළිවෙලක් හා ඉදිරි දැක්මක් නොතිබීම නිසා ඇති වූ ප්‍රතිවිපාකයයි. ලාංකීය සමාජය අද මුහුණ දී සිටින්නේ අරගලයේ පරාජයෙන් පසුව ඇති වී තිබෙන ධනේෂ්වර රාජ්‍ය ශක්තිමත් වීම හරහා සැලසුම් කරන මර්ධනය පරාජය කරන්නේ කෙසේද යන කාරනයටයි. ඒ සඳහා සියලු ආණ්ඩු විරෝධී දේශපාලන පක්‍ෂ, වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන, ඒකාබද්ධ ක්‍රියාකාරිත්වයක් ගොඩ නැඟීම අද දවසේ කාර්්‍ය බවට පත්ව ඇති බව අපි අවධාරණයෙන් යුතුව කියා සිටින්නෙමු. පොලිස් රාජ්‍යයක් මත පදනම්ව ව්‍යවස්ථාදායක ඒකාධිපතිත්වයක් තහවුරු කිරීමට රනිල් – රාජපක්‍ෂ දරණ උත්සාහය අඩුවෙන් තක්සේරු නොකළ යුතු අතර එම උත්සාහය ආරම්භක අවධියේදීම පරාජය කිරීමට නොපමාව පියවර ගැනීම සියලු ආණ්ඩු විරෝධීන්ගේ වගකීම වේ. ඒ සඳහා විපක්‍ෂයේ තිබෙන කැපවීම අවංකව පෙන්නුම් කිරීම ඔවුන්ට භාර කටයුත්තකී. එලෙස කටයුතු නොකරන විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ වලට නිසි පාඩම් ඉගැන්වීම සඳහා ජනතාව අනාගතයේදී කටයුතු කරනු ඇත.

About Taniya

Scroll To Top