image_pdfimage_print

ගෝඨාගේ අපේක්ෂකත්වය ම්ලේච්ජත්වයේ නියෝජනයක්

පොහොට්ටු පක්ෂය (එහි සැබෑ නම රාජපක්ෂ සහෝදර සමාගම විය යුතුය) අගෝස්තු 11 දින සිය පක්ෂයේ ජනාධපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ නම් කරනු ලැබීයග මෙය රාජපක්ෂවරුන්ගේ දේශපාලනයේ අන්ත බංකොලොත්භාවය ප්‍රදර්ශණය කිරීමකි. කිසිදු දේශපාලන අත්දැකීමක් නොමැති හමුදා නිලධාරියෙකු අපේක්ෂකයා කිරීමෙන් එය පෙන්නුම් කෙරේ. 2010 ජනාධිපතිවරණයේදී සරත් පොන්සේකා ජනාධිපති අපේක්ෂකයා වූ අවස්ථාවේ මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන තර්කය වූයේ පොන්සේකා දේශපාලනය නොදන්නා අයෙකු බවය. එසේ නම් ගෝටාභය, පොන්සේකාගෙන් වෙනස් වන්නේ කෙසේද යන්න මහින්ද පැහැදිලි කළ යුතුව ඇත .

ගෝඨාභය ආරක්ෂක ලේකම් ධුරය දරණ කාලයේ රාජ්‍ය මුදල් ප්‍රසිද්ධියේ අවභාවිතා කරන ලද අතර ඒ සම්බන්දයෙන් අධිකරණය ඉදිරියේ විභාග වෙන නඩුවක්ද තිබේ නගර අලංකාරය වැනි විජ්ජාවන් ඔහු සිදු කලේ හමුදා බල ඇනි යොදවා අසරණ පදික වෙළදුන් හා පීඩිත ජන කොටස් වලට තිරිසනුන් ලෙස සලකමිනි. ගෝඨාභය ජනතාව කෙරෙහි විශ්වාසය තබා කටයුතු නොකරන කෙනෙකු වන අතර හමුදාව මුලිකත්වයට ගෙන කටයුතු කරන පොල්පොට් මාදිලියේ පුද්ගලයෙකු බව ඔහුගේ මෑත ක්‍රියාකාරීත්වය තුළින් පෙන්වාදී ඇතග ඔහුට නාමයෝජනා ලැබීම සමග ඔහුගේ ආරක්ෂාව සඳහා විශ්‍රාමික හමුදා භටයින් විශාල ප්‍රමාණයක් යොදවා ගැනීම ඔහුගේ දැඩි මිලිටේරිවාදී ආකල්පය මැනවින් පෙන්නුම් කිරීමකි.

රට මුහුණ දෙන සමාජ ආර්ථික හා දේශපාලන අර්බුදයෙන් ගොඩඒම සඳහා කිසිදු වැඩ පිළිවෙලක් නොමැති ඔහු දරදඩු පාලනයක් තුළින් සමාජය පිළිසකර කළ හැකිය යන ප්‍රෝඩාවක් ඉදරිපත් කරයිග දෙමළ ජනතාව මුහුන දෙන ජාතික ප්‍රශ්ණය කිසිදු අවබෝධයක් නොමැති අතර ඔහුට ඇත්තේ මිලිටේරි පන්නයේ යාන්ත්‍රික විසඳුම්ය. උතුරේ දෙමළ ජනතාව හමුදාබලයට යටත් කර වහලුන් බවට පත්කිරිම ඔහුට තිබෙන එකම වැඩ පිළිවෙල බව පැහැදිලිය.

මුස්ලිම් ජනතාව ගැන තිබෙන්නේ ඊටත් එහාට යන වෛරී දේශපාලන මතවාදයකි. 2014 වසරේ බොදුබල සේනා හා ඥනසාර හිමිගේ නායකත්වයෙන් අලුත්ගම දර්ගා නගරයේ සිදුකල මුස්ලිම් විරෝධී කැරැල්ල පිටුපස ගෝඨාභයගේ දැත් තිබූ බව ප්‍රසිද්ධ රහසකි. අද වනවිට රටපුරා උග්‍රව පවතින මුස්ලිම් විරෝධය ගෝඨාභයගේ කාලයේ නිර්මාණය කරන ලද්දකි. අස්ගිරි පාර්හ්වයේ අනුනාහිමි වෙඩරුවේ උපාලි හිමි ප්‍රකාශ කල පරිදි ගෝඨාභයගේ නායකත්වයෙන් බිහි කිරීමට බලාපොරොත්තු වන්නේ හිට්ලර් පන්නයේ මිනීමරු ම්ලේච්ජ පාලනයකි.
මේ අනුව පෙනී යන්නේ ජනාධිපතිවරණය සඳහා ගෝඨාභයට සුදුසුකම් කීපයක් ඇති බවය. එනම් සුදුවෑන් සංස්කෘතියක් බිහිකර හිතුමතේ විරුද්ධවාදීන් ඝාතනය කිරීමයල නගර අලංකාරය නාමයෙන් පරම්පරා ගනනාවක් කොළඹ නගරයේ ජීවත්වූ අසරණ ජනතාව මිලිටේරි බලයෙන් බලහත්කාරයෙන් එලවා දැමිමය. පාර්ලිමේන්තුවට හා ඇමති මණ්ඩලයට පවා නොදන්වා ආරක්ෂක ලේකම් බලතල යොදාගෙන ඇමරිකාව සමග අතිභයානක ACSA නමින්වූ ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීමය. ලසන්ත හා එක්නැලිගොඩ වැනි මාධ්‍යවේදීන් හා වසිම් තාජුඩීන් වැනි ක්‍රීඩකයින් මහමග මරාදමා අපරාධකරුවන්ට නිදැල්ලේ සිටීමට අවශ්‍ය ඉඩකඩ සැපයීමය.

මෙවැනි සුදුසුකම් වලට හිමිකම් කියන ගෝඨාභය ආරක්ෂක ලේකම්ධුරය දරණ කාලයේ දිගින් දගටම ප්‍රකාශ කලේ තමන් කිසිදිනක මේ රටේ ජරා දේශපාලනය කිරීමට ඉදිරිපත් නොවන බවය. මෙවැනි හිවල් ප්‍රකාශ කරන අයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත්විම රටේ අභාග්‍යයකි. එසේම ගෝඨාභය විසින් ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගත් පමණින් ඔහුගේ ඇමරිකන් ගැතිබාවය වෙනස් නොවන බව ජනතාවට අනතුරු ඇඟවිය යුතුයග ඔහු ඉතා දැඩි ඇමරිකන් හිතවාදියෙකු වන අතර හිට්ලර් පන්නයේ දඩබ්බර හා හිතුවක්කාර ප්‍රජාතන්ත්‍රවාදය නොරිස්සන පුද්ගලයෙකු බව අවධාරණය කළ යුතුය. 
මෙවැනි ඉතිහාසයක් සහිත පුද්ගලයෙකුට ජනාධිපති අපේක්ෂකධුරය හිමි කිරිම මහින්ද රාජපක්ෂලාගේ අනාගත දේශපාලන උවමනාව මැනවින් ප්‍රදර්ශණය වී ඇත.

එක්සත් සමාජවාදී පක්ෂය

Scroll To Top