Home / Articles / රනිල්ගෙ වැල් පාලමේ එල්ලීගෙන යන අනුරකුමාර

රනිල්ගෙ වැල් පාලමේ එල්ලීගෙන යන අනුරකුමාර

ජනාධිපති අනුරකුමාර දිසානායක පසු ගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඔහුගේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ඉදිරි පාලන කාලය සඳහා ඔහුගේ දැක්ම සහ වැඩපිළිවෙළ ඉදිරිපත් කරන ලදී. ඇත්ත වශයෙන් ඔහුට අලු‍ත් කතාවක් සූදානම් කිරීමට අවශ්‍ය නැත. එම කතාව එක්තරා අයුරකින් ඔහු සහ ජාතික ජන බලවේගය ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට ඉදිරිපත් කරන ලද ”‍පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යන මැතිවරණ ප්‍රකාශයම පදනම් කර ගත්තක් විය යුතුය. මැතිවරණ සමයේ අනුරකුමාර ප්‍රකාශ කළ විදියට ඔහුගේ දැක්ම සහ වැඩපිළිවෙළ එහි ගැබ් වී තිබේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙහිදී පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන වචන කිසි තැනකදී සඳහන් නොවීය. ඔහුගේ කතාව මුළුමනින්ම ආංශික විය. එය සම්පූර්ණයෙන්ම පාහේ වෙන්කොට තිබුණේ ආර්ථික කාරණා ගැන කතා කිරීමටය. අනුරකුමාර තම පූර්වගාමියා සහ තම මිතුරා වූ රනිල් වික්‍රමසිංහ අනුව යමින් ආර්ථිකය මුල් කොට සිය ප්‍රතිපත්ති ප්‍රකාශය කළේය. එහිදී ද තම මැතිවරණ ප්‍රකාශයෙහි සඳහන් කර ඇති ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන ගිවිසුම යලි සමාලෝචනය කරන බවට ඇති සඳහන ගැන වචනයක්වත් නොපැවසීමට ඔහු පරිස්සම් විය. ඔහු කතා කළේ එවැන්නක් තමා සහ තම පක්ෂය කෙදිනකවත් කියා නැති ආකාරයකටය.

ආර්ථිකය පදනම් කරගෙන තමා දුන් මැතිවරණ පොරොන්දුවලට අදාළවද ඔහුගේ කතාව ඇඟ බේරා ගැනීමට ගත් උත්සාහයක් වැන්න. රජයේ සේවකයින්ට ලබන අයවැයෙන් සාධාරණ වැටුප් වැඩිකිරීමක් කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය. අයවැය එන්නේ ලබන පෙබරවාරියේදීය. එයින් කරන වැටුප් වැඩිකිරීමක් ක්‍රියාත්මක කෙරෙනු ඇත්තේ අයවැය සම්මත වී ක්‍රියාවට නැගෙන අප්‍රේල් මාසයේ සිටය. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය භාණ්ඩවලින් වැට් බද්ද ඉවත් කිරීම, රනිල් වික්‍රමසිංහ පාලනය විසින් අසාධාරණ ලෙස වෘත්තිකයන් මත පනවන ලද බද්ද සම්බන්ධයෙන් සහන සැලසීම, අයුතු ලෙස පනවා ඇති බදු ඉවත් කොට ඉන්ධන මිල අඩු කිරීම ගැන වචනයක් හෝ සඳහන් නොකිරීමට ඔහු පරිස්සම් විය.

ආර්ථිකයට අදාළව අනුරකුමාර ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කරුණු සහ කතාව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අයවැය කතා හෝ නොයෙක් අවස්ථාවල ඔහු පාර්ලිමේන්තුවට පැමිණ කළ කතාවලින් වෙනස් වන්නේ වැල් පාලම හෝ වංකගිරිය ගැන සඳහන් නොකිරීම නිසා පමණි. IMF වැඩපිළිවෙළ හැර වෙන මගක් නොමැති බවට රනිල් වික්‍රමසිංහ නොයෙක් විට කී කතා මෙදා අනුරකුමාර දිසානායක විසින් අගේට තහවුරු කරන ලදී. තමා ඡන්දයෙන් පැරදුනත් තමාව පැරදවූ තම මිතුරා අනුරකුමාර තම ආර්ථික වැඩපිළිවෙළ තමා ගැන සඳහන් නොකර වුවත් මැනවින් ඉදිරියට ගෙනයන බව දැක වික්‍රමසිංහ දෙකොණින්ම සිනා වෙනු ඇති බව පැහැදිලිය. අනුරකුමාර මේ දුන් සහතිකය මත මූල්‍ය අරමුදල විසින් ලංකා ආණ්ඩුවට පසුගිය සැප්තැම්බරයේදී ලබාදීමට නියමිතව තිබූ ඩොලර් මිලියන 333ක ණය වාරිකය මුදාහැරීම සඳහා වන කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවට අරමුදලේ නියෝජිතයන් සහ ආණ්ඩුව නියෝජිතයන් පසුගිය සතියේ අත්සන් තබන ලදී. එම වාරිකය ලබාදීමට පෙර දෙපාර්ශ්වය අතර හතර වතාවක්ම සාකච්ඡා පැවතියේ මූල්‍ය අරමුදල සමග එළඹ ඇති ගිවිසුම එලෙසින්ම ඉදිරියට ගෙනයන බවට ස්ථීරසාර සහතිකයක් මේ ආණ්ඩුවෙන් ලැබෙන තුරුය. අනුරකුමාර ජනාධිපතිවරයා අන්තිමේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ දණගැසූ බව සැඟවිය නොහැකිය.

මෙයින් පෙන්නුම් කෙරෙන්නේ කුමක්ද? ඒ මෙම ජාතික ජන බලවේග ආණ්ඩුව රනිල් වික්‍රමසිංහගේ නව ලිබරල්වාදී ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ එලෙසින්ම පිළිගෙන ඇති බව නොවේද? නව ලිබරල්වාදය, මජර ධනවාදය ගැන වේදිකා දෙදරවා බෙරිහන් දුන් අනුරකුමාර දැන් තමාගේ කටට තමා විසින්ම අගුලු‍ දමාගෙන තිබේ. එමෙන්ම ඔහුගේ සහ ඔහුගේ ආණ්ඩුවේ නොහැකියාවද මෙයින් පෙන්නුම් කෙරේ. විපක්ෂයේ සිටියදී කොතරම් වගසි බස් දෙඩුවද, වාචාල කතා කීවද තමන්ගේම වැඩපිළිවෙළක් සහ යෝජනා මත මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කිරීමේ හැකියාවක් ඇති පිරිසක් මාලිමා කණ්ඩායමේ නැත. මැතිවරණයට පෙර සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුවත් සමග විවාදයක් කිරීම ජවිපෙ/ජාජබ සූක්ෂම ලෙස මගහැරියේද එක අතකට ආර්ථිකය සම්බන්ධයෙන් ඔවුන් නිශ්චිත මතයක හෝ වැඩපිළිවෙළක නොසිටි නිසාවෙන් මෙන්ම ඒ නිසාම රටේ ආර්ථිකය හසුරුවන ආකාරය සම්බන්ධයෙන් ඔවුන්ට කියන්න දෙයක් නොතිබූ නිසාය. ඒ බව දැන් වඩාත් හොඳින් පැහැදිලි වන්නේ ජනාධිපතිවරයා කිසිදු ලජ්ජාවකින් තොරව IMF සමග ගනුදෙනු කිරීමට සූදානම් බව ප්‍රකාශ කිරීමෙනි. ඇත්ත වශයෙන් අනුරකුමාර තම පැරණි මිතුරා වන රනිල් වික්‍රමසිංහට ස්තුති වන්ත විය යුතුය. ඒ හිස් අතින් ජනාධිපති පුටුවේ වාඩි වූ ඔහුට ආර්ථිකය සම්බන්ධයෙන් කටයුතු කිරීමට අවශ්‍ය IMF පැකේජය රනිල් විසින් සම්පාදනය කොට තිබූ බැවිනි. ජනතාව නොමරා මරන රනිල්ගේ මේ වැඩපිළිවෙළට ජනතාව කොතරම් විරුද්ධ වුවද මේ ධනේශ්වර ගමන් මගේම ගමන් කිරීමට පැහැදී සිටින අනුරකුමාරට රනිල් නොවී නම් මේ වනවිට දෙවියන්ගේ පිහිට යැදීමට සිදුවනු ඇත.

ආර්ථිකය සම්බන්ධයෙන් හැර අනුරකුමාර ජනාධිපතිවරයා කිව්වේ තවත් කාරණා දෙකක් පමණි. එනම් නීතිය කාටත් සමාන බවත් නීතියට කවුරුත් යටත් විය යුතු බවත් සහ ජාතිවාදය ඇවිස්සීමට කාටවත් ඉඩ නොදෙන බවය. මේ දෙකම ඉදිරියේදි බැලිය යුතු ඒවාය. නීතියට ඉහළින් සිටි දේශපාලකයන් පොලිසිය අල්ලේ නැටවූ අවස්ථා පවා අපි දැක ඇත්තෙමු. අනෙක් අතට ජාතිවාදය ඇවිස්සීමට කාටවත් ඉඩ නොදෙන බව කියන්නේ සිංහල වර්ගවාදය ආත්මය කොටගත් පක්ෂයක නායකයාය. අද ඔහු අලු‍ත් ඇඳුමකින් සැරසී සිටියත් ඔහුගේ සැබෑ අභ්‍යාසය කෙබඳුදැයි බරපතළ සැකයක් මතුවේ. ඒ මෙරට තිස් වසරක යුද්ධයකට තුඩු දුන් සහ නිදහස ලැබී දා පටන් ඔඩු දුවමින් පවතින ප්‍රධාන දේශපාලන ප්‍රශ්නය වන ජාතික ප්‍රශ්නය ගැන වචනයක්වත් නොපැවසීමට ජනාධිපතිවරයා පරිස්සම් වීම නිසාය.

අනුරකුමාර දිසානායක නායකත්වය දරන ජනතා විමුක්ති පෙරමුණ ලංකාවේ දෙමළ ජාතික ප්‍රශ්නය දෙස බැලු‍වේ නින්දා සහගත ලෙසය. විජේවීරගේ සමයේ සිටම ජවිපෙට ජාතික ප්‍රශ්නය ගැන පැහැදිලි ස්ථාවරයක් නොතිබිණි. මාඕවාදී දේශපාලනයට ආවේණික ලෙසම ඔවුන් දෙමළ ජනයාගේ ජාතික අනන්‍යතාව පිලිගැනීම ප්‍රතික්ෂේප කොට එම ජනයාට තම දේශපාලන ඉරණම තීන්දු කිරීම සඳහා වන ස්වයං නිර්ණය අයිතිය පිලිගැනීම ප්‍රතික්ෂේප කළහ. පසු කලෙක අනුරකුමාර ද ඇතුළත් ජවිපෙ කොතරම් වර්ගවාදී ස්ථාවරයකට ගමන් කළේද යත් කොටි සංවිධානය පරාජය කිරීම සඳහා බර අවිවලින් පහර දෙන ලෙස එවකට සිටි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට බලපෑම් කළේය. උතුරේ යුද්ධය ඍජු ලෙසම දෙමළ විරෝධි යුද්ධයක් බවට පත්වූයේ මේ අයුරින් කොටි සංවිධානයට එරෙහිව යුද්ධ කරන මුවාවෙන් බර අවි යොදාගෙන සටන් කිරීමට පටන් ගැනීමත් සමගය. දෙමළ ජනයා දහස ගණනින් ඝාතනය කෙරුණේ මානුෂීය මෙහෙයුම නමින් හඳුන්වනු ලැබූ මේ තිරශ්චීන යුද්ධය විසිනි. මහින්ද රාජපක්ෂ යුද්ධය සඳහා පෙළඹවීම පිළිබඳව තමන් කිසි විටෙකත් කණගාටු නොවන බව අනුරකුමාර දිසානායක වරෙක ප්‍රකාශ කළේය.

රාජ්‍ය නායකයකු මුල් වරට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශයක අඩංගු වියයුත්තේ ඉදිරි වසර පහක කාලය තුළ ඔහු/ඔහුගේ ආණ්ඩුව විසින් ඉටු කිරීමට බලාපොරොත්තු වන වැඩකටයුතු පිළිබඳ මූලික ප්‍රතිපත්ති රාමුවකි. ජාජබයේ මූලික පොරොන්දුවක් වූයේ අලු‍ත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පනවන බවයි. එහි මූලික අංගයක් වූයේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවයි. මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි ඒ ගැන වචනයක්වත් සඳහන් නොවීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අලු‍තින් සම්පාදනය කිරීම සුළුපටු හෝ ලේසි පහසු කාර්්‍යයක් නොවේ. එය කල් ගතවන ක්‍රියාදාමයකි. එසේනම් එම ක්‍රියාදාමයේ මූලික කටයුතු මේ වනවිටත් ආරම්භ කර තිබිය යුතුය. ජනාධිපතිවරයාගේ කතාවෙන් පෙනීයන්නේ ඔහුට ඒ පිළිබඳ වගේ වගක මතකයක්වත් නොතිබූ බව නොවේද ? එමෙන්ම ඔහුගේ ජාතික ජන බලවේගයේ කිසිවකුටත් එය මතක ඇති බවක් නොපෙනේ.

අනුරකුමාර දිසානායක ජනාධිපතිවරයාත්, ඔහුගේ ආණ්ඩුවත් තවමත් දේශපාලන මධුසමයක් ගතකරන බව පෙනේ. විශේෂයෙන්ම සාම්ප්‍රදායික පක්ෂ කෙරෙහි ජනතාව තුළ ඇති වෛරය මේ සඳහා වඩාත් ඉවහල් වී ඇති සෙයකි. මේ නිසා ආණ්ඩුවට මේ වෙලාවේ ඕනෑ දෙයක් කියා ඇඟ බේරා ගැනීමට අවස්ථාවක් උදා වී තිබේ. මේ ප්‍රතිපත්ති ප්‍රකාශයද ජනයා රවටන, මතුපිටින් අතපත ගාන, ව්‍යාජ කතාවක් පමණි. මේ රැවටිල්ලට තව ටික කාලයක් පැවතිය හැකිය. මේ රැවටිල්ල එලිදරවු වනවිට සාම්ප්‍රදායික සංස්ථාපිත ධනපති පක්ෂ විසින් පොදු ජනයා ඩැහැගැනීමේ උත්සාහයට එරෙහිව ජනතාව අරගල මගට යොමු කරමින් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින සටන් කරන වමේ බලවේගයක් ගොඩනැගීම සියලු‍ වාම ක්‍රියාකාරීන්ගේ සහ කණ්ඩායම්වල පොදු අරමුණ විය යුතුය.

 

About Taniya

Scroll To Top