කොරෝනා වෛරසය හා චීන ජනතා විරෝධය


කොරෝනා වෛරසය හා චීන ජනතා විරෝධය
චීන කොරෝනා වෛරසය හේතුකොට ගෙන චීන ජනතාව බැහැර කිරීමේ කි‍්‍රයාදාමයක් මේ දිනවල රටපුරා ව්‍යාප්තවී ඇත . එපමණක් නොව චීන ජාතිකයින් මෙන් දේහ ලක්ෂණ තිබෙන හොංකොං කොරියානු ජාතිකයින් ඇතුලූ අග්නිදිග ආසියානු කලාපයේ සියලූ රටවැසියන් කෙරෙහි මෙම විරෝධතා ආකල්පය දියත්ව ඇති බව පෙනේ. කොරෝනා වෛසරය භයානක උවදුරක් වන අතර එය මෙරටට ඇතුල්වීම වැලැක්විම සඳහා අවශ්‍ය පියවර ගැනීම රට පාලනය කරන ආණ්ඩුවේ වගකීම වන අතර පොදු ජනතාව වශයෙන් ඉටු කළයුතු කාර්්‍යභාරයක්ද තිබෙන බව නොකිවමනාය. එසේ වුවද රටතුල ව්‍යාප්ත වන චීන ජාතිකයින් සමස්ථයක් වශයෙන් බැහැර කිරීමේ ඉතා පටු ආකල්පය බැහැර කළ යුතුය.
චීන ආණ්ඩුව ලංකාව කොලනියක් බවට පත්කර ගැනීමේ අභිලාෂයෙන් යුතුව ගෙනයන ආර්ථික වැඩ පිළිවෙලට එරෙහිවීම හා කොරෝනා වෛසරය මුලික කර ගනිමින් සාමාන්‍ය චීන ජනතා විරෝධයක් මතුකර ගැනීම අතර කිසිදු සම්බන්ධයක් නැත . චීන පාලනය එ්කාධිපති ස්වරූපයේ පාලනයක් වන අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප‍්‍රඥප්තීන් පවා බොහෝමයක් පිළිනොගෙන තිබෙන රටකි. කොරෝනා ප‍්‍රශ්ණය හුදු සෞඛ්‍ය ප‍්‍රශ්ණයකට සිමා නොවන අතර එය මානව හිමිකම් පිළිබඳ ප‍්‍රශ්ණය මාධ්‍ය නිදහස හා වෘත්තිය සමිති නිදහස වැනි ප‍්‍රජාතන්ත‍්‍රවාදී කරුණු හා සම්බන්ධය. ගෝලීය ධනවාදය කරපින්නා ගෙන කටයුතු කරන චීනයේ ආර්ථික මොඩලය අප ප‍්‍රතික්ෂේප කරන අතර එ් හා සම්බන්ධ සිංගප්පූරූව හා හොංකොං වල තිබෙන සමාජ ආර්ථික දේශපාලනයද අපට පිළිගත නොහැක්කකි. ඊට එරෙහි අරගලය හා චීන ජනතාව කොරෝනා ප‍්‍රශ්ණය පටලවා ගෙන බැහැර කිරීම ලදරු කි‍්‍රයාවකි. චීන ජාතිකයින්හට හෝටලයක නවාතැන් නොදීමද සාමාන්‍ය කඩ සාප්පුවකට ඔවුන් වැද්ද නොගැනීම හා බස්රථයකට හෝ දුම්රියකට චින ජාතිකයින් ගොඩවූ විට ඔවුන් දෙස වෛරී ආකල්පයෙන් බැලීම හා ඔවුන් අපහසුතාවයට පත්වන අයුරින් කටයුතු කිරීම මේ දිනවල සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත . මෙම හැසිරීම පෙන්නුම් කරනුයේ අපේ රටේ පවතින පසුගාමී ¥පත් පටු මානසික ස්වභාවයයි. මේ වනවිට ලෝකයේ බොහෝමයක් රටවලට මෙම වෛරසය පැතිරී ඇතත් එය මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය පියවර ගන්නවා වෙනුවට සාමාන්‍ය චින ජනතා විරෝධයක් මතුකර ගැනීමට එම රටවල ජනතාව ගමන්කර නොමැත.

ගැඹුරු ප‍්‍රශ්ණවලට සරළ විසදුම් සොයා ගැනීමේ පටු සිමාවන් වල ස්වභාවය ලාංකේය සමාජය තුළ මීට පෙර සිදුවීම් වලදීද දැකිය හැකිවිය. 2019 අපේ‍්‍රල් 21 දින සිදුවූ බෝම්බ ප‍්‍රහාරයෙන් පසු මුස්ලිම් ජාතිකයින් කොන් කිරීම සඳහා වන බරපතල ව්‍යාපාරයක් දකුණේ සිංහල ජන සමාජය ඇතුලත සිදුවු බවද අමතක නොකළ යුතුය. එය පමණක් නොව මුස්ලිම් ජනතාවගේ කඩසාප්පු වර්ජනය කිරීමද මුස්ලිම් වෛද්‍යරුන්ගෙන් බෙහෙත් නොගෙනීම පමණක් නොව මුස්ලිම් හෝටල්වල සිංහල ජාතිය වද කිරීම ස`දහා වඳ බෙහෙත් කලවම් කල ආහාර දෙන බවටවු අති විශාල මිත්‍යා විශ්වාසයක් පසුගිය දිනවල බහුල වශයෙන් රටපුරා පැවතින. මේ වන විට එකී මිත්‍යා විශ්වාසයන් බොහෝමයක් වියැකි ගොස් තිබීම වැදගත් වන අතර ඉන් පාඩම් ඉගෙන ගෙන චීන ජාතිකයින් සමස්ථයක් වශයෙන් ප‍්‍රතික්ෂේප කිරීමේ පටු මානසිකත්වයෙන් අප මිදිය යුතුව ඇත . චීන ජාතිකයින් හුදකලා කිරීමෙන් හෝ ප‍්‍රතික්ෂේප කිරීමෙන් කොරෝනා වෛරසයෙන් එල්ලවන තර්ජනයෙන් ජය ගැනීමට නොහැකි බව තේරුම් ගැනීම වැදගත්ය.