Home / Other / දේශපාලන ඉදිරි දර්ශන ලියවිල්ල – එක්සත් සමාජවාදී පක්ෂය

දේශපාලන ඉදිරි දර්ශන ලියවිල්ල – එක්සත් සමාජවාදී පක්ෂය

 

දේශපාලන ඉදිරි දර්ශන ලියවිල්ල 

 

1.  එක්සත් සමාජවාදී පක්ෂය මෙම සම්මේලනය පවත්වනු ලබන්නේ ලාංකීය දේශපාලනය අතිශය ගැඹුරු අර්බුදයකට මුහුණ දෙමින් තිබෙන මොහොතකය. ලංකාවේ දේශපාලනය මෙම දිනවල දිනපතාම පාහේ වෙනස් වන බව ප්‍රකාශ කළහොත් එය අතිශයෝක්තියක් නොවන්නේ. සංකේතාත්මක වශයෙන් මෙම වසරේ මාර්තු මස 31 වෙනිදින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහානේ පිහිටි පුද්ගලික නිවස අසලින් ආරම්භවූ ජනතා විරෝධය දින ගනන් සති ගනන් හා මාස කීපයක් ඇතුලත මුලු ලංකාවම වෙලාගත් දැවැන්ත ජනතා අරගලයක් බවට පත්විය. මැයි 9 හා ජූලි 9 යන සංඛේතාත්මක දිනවල ඇතිවු ජන අරගලය තුලින් රාජපක්ෂ පවුල ආණ්ඩු පාලනයෙන් ඉවත් කිරිමට සමත් විය. දැන් එම අරගලය රනිල් වික්‍රමසිංහ බලයෙන් පන්නා දැමිම සඳහා වූ දිග්ගැසුණු ක්‍රියාවලියක් බවට පරිවර්තනය වී ඇත.

2.   දරුණු පාලනයක් ගෙන ගිය ගෝඨාභය බලයෙන් පහකර දැමිමට සමත්වූ ජනතා අරගලයේ ක්‍රියාකාරිත්වය දකුණු ආසියාතික කළාපය තුල ඒ අන්දමේ පාලනයන් ගෙන යමින් සිටින ඉන්දියාව පකිස්ථානය බංගලාදේශය නේපාලය හා මාලදිවයින යන ධනපති රටවල පාලකයින් හිරිවැටිටවීමට හේතුවිය. කම්කරු පංතිය, තරුණයින්, ධිවරයින් හා පහල මධ්‍යම පන්තිකයින් ඇතුලු පීඩිත ජනතාව මුහුණ දෙමින් සිටින ඉසිලිය නොහැකි අධික ජීවන බර මෙම අරගලය ඉස්මතුවීමට හේතුවිය. පුද්ගලික වාහන සඳහා මෙන්ම ගොවිතැන් කටයුතු යනාදිය සඳහා අවශ්‍ය කරන ඉන්ධන හිඟයද ගෘහස්ත ගෑස් ලබා ගැනීම සදහා දින ගනන් පෝලිම් වල ගත කිරිමට සිදුවිම සමග දෛනික ජීවිතය පවත්වාගෙන යා නොහැකි තත්වයට අමතරව දිනපතා පැය ගනන් විදුලිය කප්පාදු කිරිම නිසා ජනතාවගේ විරෝධය උච්චස්ථානයකට පත්විය. ආහාර ද්‍රව්‍ය වල මිල අධික ලෙස ඉහළයැම සමග ජනතාව සාගින්නට ඇද දමා තිබේ. ඉන්ධන හිඟය සමඟ මගී ප්‍රවාහනය අඩාල වූ තත්වය තුල ආණ්ඩුව රට අගුලු දැමීමක තත්වයට පත්වූ අතර පාසැල් අධ්‍යාපනය සාමාන්‍ය තත්වයෙන් පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් උදාකරනු ලැබීය. රාජ්‍ය අංශය අක්‍රිය භාවයට පත්කළ අතර අත්‍යවශ්‍ය කාර්යමණ්ඩල පමණක් සේවයට කැඳවීමට සිදුවිය.

3.  මෙම පසුබිම තුළ දෛනික ආදායම් ලබන අංවිධිත කේෂ්ත්‍රයේ නියැලි කම්කරු පංතියේ ආදායම් සම්පූර්ණයෙන්ම පාහේ බිදවැටී ඇත. ත්‍රිරෝද රථ වලින් ජිවිකාව ගෙනගිය ලක්ෂ 10ක් පමණ වන කොටස්වල ආදායමද විශාල අර්බුදයකට ඇද වැටුනි. ඉදිකිරීම් කර්මාන්තය ද සම්පූර්ණයෙන්ම පාහේ කඩා වැටී කම්කරුවන් විශාල සංඛ්‍යාවකට රැකියා අහිමි විය. විදේශ විනිමය අර්බුදය නිසා කර්මාන්ත ශාලා වැසීයන තත්වයක් උද්ගතවූ අතර ඇගලුම් කර්මාන්තයේ නියැලී කම්කරුවන් විශාල සංඛ්‍යාවකටද රැකියා අහිමි විය. කෝවිඩ් වසංගතය සමග සංකෝචනයවූ මැදපෙරදිග ගෘහ සේවය නැවත යථා තත්වයට පත් නොවීම නිසා එම කේෂ්ත්‍රයේ කටයුතු කළ බොහෝ දෙනෙක්ගේ රැකියා අවස්ථා අහිමි විය. මෙම තත්වය ඇති වුනේ පෙර නුදුටු අන්දමේ අර්බුදයකට සමස්ථ ධනේෂ්වර ලෝකයම මුහුණ දෙමින් සිටින පසුබිමකය. කෝවිඩ් වසංගතය සමග ආරම්භවූ 2020 දශකය ලෝක පරිමානව නොනවතින අර්බුදයන්ගේ දශකයක් වනු ඇත. තාවකාලික පැලැස්තර දැමිය හැකි වුවද අර්බුදයට විසදුම් ඉදිරිපත් කිරිමට ධනවාදය අපොහොසත්ය. රුසියන් යුක්රේන යුද්ධය බලාපොරොත්තුවුවාට වඩා දිග්ගැසී යන යුද්ධයක් බවට පත්ව ඇත. මේ මගින් ලොවපුරා ආහාර අර්බුදයක් උද්ගතකර තිබෙන අතර අප්‍රිකාව ආසියානු කලාපවල ජනතාවට මෙම අර්බුදයට මුහුණදීමට සිදුව තිබේ. යුක්රේන යුද්ධයේ බලපෑම ඉතා දුර්වල තත්වයකින් පවතින ලංකාවේ ආර්ථිකයට මරණීය පහරක්වී ඇත.

4.  ඉහත තත්වය උද්ගතවූයේ ලංකා ඉතිහාසයේ නොවු විරූ ආර්ථික අර්බුදයකට ඇදවැටී සිටින අවධියකය. දශක ගනනාවක් තිස්සේ ඇදී එමින් පැවැති විදේශ විනිමය (සෙවරී බැදුම්කර) අර්බුදය ගෝඨාභයගේ උද්දච්ච හා මෝඩ පාලනය නිසා ගොඩගත නොහැකි අර්බුදයක් බවට පත් විය. කෘෂි කර්මාන්තය විශාලම අර්බුදයකට ඇද දමනු ලැබුවේ රසායනික පොහොර භාවිතය එක රැයකින් සහමුලින්ම නතර කිරිමට ගත් තකතීරු ගොන් තීන්දුව නිසාය. රටේ ජනගහනයෙන් සියයට 70ක් පමණ වන කෘෂිකර්මාන්තයේ නියැලි ගොවි ජනතාව සිය දහස් ගනනින් රටපුරා දැවැන්ත උද්ඝෝෂණ පවත්වනු ලැබීය. කෘෂි නිෂ්පාදනය සියයට 50කට වැඩි ප්‍රමාණයකින් පහත වැටුනු අතර සහල් නිෂ්පාදනය විශාල වශයෙන් කඩා වැටීම නිසා පිටරටවලින් සහල් ගෙන්වීමට සිදුවූයේ හාල් ඇටයක්වත් පිටරටින් නොගෙන්වන බවට ඇමතිවරු දෙසු වහසිබස් විහිලු කතා බවට පත් කරමිනි. ලාංකික ජනතාවගේ ප්‍රධාන ආහාරය වන හාල්වල මිල හතර පස් ගුණයකින් ඉහල ගිය අතර රටතුල විශාල හාල් හිගයක්ද නිර්මාණය කෙරින. මේ අතර අඩු ආදයම් ලබන ජනතාවට දිනපතා එක් ආහාර වේලක් හෝ දෙකක් කපා දැමීමට සිදුවු පසුබිම මධ්‍යයේ ජනතාව තුල පොදුවේ බරපතල ආණ්ඩු විරෝධයක් නිර්මාණය වුනි.

5.  රටතුළ මතුවූ ආර්ථික අර්බුදය කොතරම්ද කිවහොත් 2018 වසරේ ඩොලර් බිලියන 94ක්වු දළ දේශීය නිෂ්පාදනය 2022 වන විට බිලියන 76ක් දක්වා පහල වැටුණි. විදේශ  විනිමය සංචිතය බිංදුව දක්වා පහත වැටුණු අතර ඉන්ධන බෙහෙත් ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරිම සදහා විදේශ රටවලින් ඩොලර් හිගාකෑමට සිදුවිය. ඉන්දියාව හා චීනයෙන් පමණක් නොව බංගලාදේශයෙන් පවා ඩොලර් හිගාකෑමේ තත්වයට ලංකාව ඇද වැටුනි. ඩොලර් අර්බුදය කොතරම් වේදයත් මහබැංකුවට අනුව ඩොලරයේ වටිනාකම නිල වශයෙන් රුපියල් 365ක පැවතියද එහි සැබෑ අගය රුපියල් 450 ඉක්මවා තිබීමය. මෙම පසුබිම තුළ විදේශ ගතව සේවය කරන ලාංකික ශ්‍රමිකයන් උන්ඩියල් හා හවාලා ක්‍රමය ඔස්සේ රටට මුදල් එවීමට යොමුවිම අරුමයක් නොවන්නේය.

6.  ජාත්‍යන්තර මුල්‍ය  අරමුදල (IMF ) ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව (ADB) යන ආයතනවලට හා ඇමරිකාව ජපානය ඉන්දියාව හා චීනය වැනි රටවලට ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 52 ඉක්මවා ගොස් ඇත. උදාහරණයක් වශයෙන් මෙම වසරේ ජුලි හා දෙසැම්බර් අතර ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3කි. මෙයට අමතරව ඉදිරි වසර 5 තුල අනිවාර්යයෙන් ගෙවිය යුතු විදේශ ණය මුදල් මෙසේය. 2023 වසර  ඩොලර් බිලියන 6ක්ද 2024 ඩොලර් බිලියන 5ක්ද 2025 ඩොලර් බිලියන 6ක්ද 2026 ඩොලර් බිලියන 4ක් හා 2027 ඩොලර් බිලියන 4ක්ද ගෙවීමට නියමිතය. මෙම ණය මුදල් ගෙවීම සදහා රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට කිසිදු වැඩ පිළිවෙලක් නොමැති අතර ඔහුගේ විසදුම වන්නේ තව තවත් ණය විදේශ රටවලින් ලබාගෙන ණය ගෙවිම හා දේශීය සම්පත් විදේශික ජාවාරම්කරුවන්ට විකුණා මුලු රටම දිගුකාලීන විශාල අගාධයකට ඇද දැමිම පමණි.

7.  2022 පළමු කාර්තුවට අදාලව දළ දේශීය නිෂ්පාදිතය සෘණ 1.6 දක්වා පහලට වැටුණි. 2022 වසරේ සමස්ථ ආර්ථික වර්ධන වේගය සෘණ 7ක් දක්වා දරුණු බිද වැටීමක් සිදුවනු ඇත. ආර්ථිකය  මෙපමණ විශාල ප්‍රමාණයකින් කඩා වැටීමට හේතුව හැටියට ගෝඨාභයගේ ආණ්ඩුව විසින් පෙන්නුම් කරනු ලැබුවේ කෝවිඩ් වසංගත තත්වයයි. නමුත් මෙය ඇත්ත හේතුව නොවන අතර එය කෝවිඩ් වසංගතයේ බලපෑම තමන්ට අවශ්‍ය පරිදි අතිශයෝක්තියට ලක් කිරීමකි. ආර්ථික අර්බුදයට සැබෑ හේතුව මෙතුවක් කල් රට පාලනය කළ ධනපති ආණ්ඩුවල වැරදි ආර්ථික කළමණාකරනය හා ඉතා විශාල ලෙස සිදුව තිබෙන දූෂණය මංකොල්ලකෑම හා නාස්තියයි. 2020  වසරේ සියයට 11ක්ව පැවැති ආහාර උද්ධමණය 2022 ජුලි වන විට සියයට 90ක් ඉක්මවා ඇත. මහ බැංකුව නිකුත් කරන උද්ධමන රේට්ටුව නිවැරදිව ගනනය නොකරන තත්වයක වුවද මේ වනවිට උද්ධමනය අධි උද්ධමන තත්වයක් කරා ගමන් කර ඇති අතර මෙම වසරේ ජුලි වන විට උද්ධමනය සියයට 60 ඉක්මවා ඇති අතර මෙම වසර අවසාන වනවිට උද්ධමනය සියයට 75ක් හෝ 80ක් හෝ ඊටත් වඩා ඉහලයෑමට හැකි බව මහබැංකු නිවේදනවල සදහන්ය. ස්වාධින ඇමරිකානු ආර්ථික  විද්‍යඥයෙකු වන ස්ටීව් හැන්ක් (Steave Hank) පවසන්නේ ලංකාවේ උද්ධමනය මේවන විට සියයට 130කට ආසන්න අගයක් ගන්නා බවයි.

8.  මෙම පසුබිම තුළ චීනයට අමතරව ඉන්දියාව හා ඇමරිකාව ලාංකිය ආර්ථිකය එම රටවල දේශපාලන උවමනාවන්ට අනුව හැසිරවීම සදහා බලගතු පියවරයන් ගනිමින් සිටී. ඉන්දියාවේ  ප්‍රධාන කෝටිපති ධනපතියෙකු වන අදානි සමාගම කොළඹ වරායේ බටහිර ජැටියේ සියයට 51ක කොටස් වලට හිමිකම් ලබා ගැනිම ඉන් එක් පියවරකි. දෙවැන්න ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගම කෙරවලපිටිය ද්‍රවී ස්වාභාවික ගෑස් (LNG) ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් මිලියන 250කට මිලදී ගැනීමය. මෙම සිදුවීම මගින් පෙන්නුම් කරනුයේ ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය හා ආර්ථික ප්‍රතිපත්ති සාපේක්ෂ වශයෙන් ඉන්දියාවට හා බටහිර දෙසට මාරුවීමකි. ඒ අතර  මෙම නව සම්බන්ධතා චීනයට තර්ජනයක් නොවන බව පෙන්වීමට හිටපු ජනාධිපති ගෝඨාභය මෙන්ම නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වනවිට කටයුතු කරමින් සිටී. එසේ වුවද පසුගියදා ඉන්දීය විදේශ අමාත්‍යංශයේ ලේකම් ලංකාවේ සිදුකල සංචාරය හුදෙක් ආචාරශිලිත්වයක් ප්‍රකාශ කිරිමක් නොව ලංකාවේ ක්‍රියාත්මක වන ඉන්දිය ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසීමට සිමාවුවක් නොවු අතර එමගින් ලංකාවට බරපතල දේශපාලන ඇඟවිමක් සිදුකරන ලද බව නොරහසකි.

9.  මේ වන විට ආසියානු පැසිපික් කලාපයේ සිදුවන විශාල යුද්ධ සැලසුම් හා මෙහෙයුම් දකුණු ආසියානු කලාපයටද විශාල බලපෑමක් එල්ලකර ඇත. තායිවානය සම්බන්ධයෙන් චීනය අනුගමනය කරන ආක්‍රමණශීලී ක්‍රියාවන් ඇමරිකාවට අලුත් අභියෝගයක් මතුකර තිබෙන අතර රුසියානු – යුක්රේනය මාදිලියේ තවත් යුද්ධයක් දෙසට වර්ධනයන් වේගයෙන් සිදුවෙමින් පවති. මේ අතර ලංකාවේ ධනපති පාලකයින්ගේ අදුරදර්ශී ජාත්‍යන්තර දේශපාලන කටයුතු හේතු කොට ගෙන ලංකාව අධිරාජ්‍යවාදී බලවතුන්ගේ උවමනාවන් වලට යටත්ව කටයුතු කරන රටේ ස්වාධීනත්වය අහිමිකර ගත් බහු ධ්‍රැවීය අර්බුද සහිත රාජ්‍යයක් බවට පත්ව ඇත. මෙම උනුසුම්වන භුදේශපාලන පසුබිම තුළ ආසන්න වශයෙන් ඉන්දියාව හා චිනය ලංකාව බෙදා පාලනය කිරිමේ තත්වයක් නිර්මාණයවී ඇත. හම්බන්තොට වරාය හා කොළඹ ඉදිකෙරෙමින් පවතින වරාය නගරය චීන ආධිපත්‍යය තුල කටයුතු කෙරෙන අතර කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ පාලනයද ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිවල බහුතර අයිතියටද අමතරව කන්කසන්තුරේ වරාය හා පලාලි ගුවන්තොටුපල පාලනයටද ඉන්දියාව අතගසා ඇත. මේ අතර අලුත්ම වර්ධනය වන්නේ ඉතාම විශේෂිත ඝනයේ සන්නිවේදන උපකරණවලින් සමන්විත චීන යුද්ධ නෞකාවක් (යුආන් වැන්ග් – 5) අගෝස්තු මස හම්බන්තොට වරායට පැමිණ දකුණු ඉන්දිය මුහුද ආශ්‍රිතව සිදු කරන ලද විශේෂිත පරීක්ෂණයයි. මේ ගැන ඉන්දියාව හා ඇමරිකාව තම දැඩි විරෝධය ලංකාවේ ආණ්ඩුවට ප්‍රකාශ කර ඇත. ඉන්දියාව විසින් චීනයේ මෙම මැදිහත්වීම සම්බන්ධයෙන් ඉතා ඉක්මණින් ප්‍රතිචාර දැක්විම බලාපොරොත්තු විය යුතු අතර ලංකාවට මුහුණදී සිදුව තිබෙන්නේ තින්දුවක් ගත නොහැකි අන්දමට කලාපිය බලවතුන්ගේ උවමනාවන්ට යටත්ව තිබෙන්නේ පහසුවෙන් පාලනයකරගත නොහැකි අර්බුදයකටය.

 

ජන අරගලයේ ස්වභාවය හා ඉදිරි හැඩ ගැසීම්

 

10.  මාර්තු 31 සිට ජුලි 9 වෙනිදා වෙනි දින දක්වා ක්‍රියාත්මකවු ජනතා නැගිටීම් මාලාව විප්ලවවාදි නැගිටීමක පූර්ව ලක්ෂණ වලින් සමන්විත වියග ජනතා අරගලයේ බලපෑම නිසා මැයි 9 වන විට අගමැති මහින්ද රාජපක්ෂට ඉල්ලා අස්වීමට බල කෙරුනු අතර ඇමති මණ්ඩලයද අහෝසි වි ගියේය. ඒ සමගම මහබැංකුවේ අධිපති ලෙස කටයුතු කළ කුප්‍රකට දූෂිතයෙකු හා රාජපක්ෂ පවුලේ ගැත්තරයෙකු වන අජිත් නිවාඩ් කබ්රාල්ට ඉල්ලා අස්වීමට සිදුවිය. මෙම පසුබිම තුළ එම දින කිහිපය ආණ්ඩුවක් නොමැති අරාජික තත්වයට රට ඇද වැටුනු අතර දින කීපයක් යන තුරු අගමැතිවරයෙකු හෝ කැබිනට්ටුවක් නොවීය. අවසානයේදී ඉන්දියාව හා අධිරාජ්‍යවාදින්ගේ මැදිහත්වීම මත පාර්ලිමේන්තු ආසනයක්වත් දිනාගත නොහැකි මට්ටමට පාරාජිකවු එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී වූ රනිල් වික්‍රමසිංහ අගමැතිධුරයට පත් කරනු ලැබීය.

11.  මැයි 9 වෙනිදා සහ ජුලි 9 වෙනිදා සිදුවු ජනතා නැගිටීම විප්ලවකාරී නැගිටීමක් විය. දේශපාලන වශයෙන් පැහැදිලි අරමුණකින් හා වැඩ පිළිවෙලකින් තොරව ආරම්භවු ජනතා නැගිටීම තුල ප්‍රධාන ක්‍රියාකාරි සාධකය වුයේ ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව සිටි නාගරික පහල මැද පන්තික කොටස්ය. ඒ සමග විවිධ සුළු ධනේෂ්වර කණ්ඩායම් ගෝල්ෆේස් පිටිය මූලික කරගෙන එය අත්පත් කරගෙන ජන අරගලය පෝෂණය කරනු ලැබූ අතර ආරම්භයේදී කම්කරු පංතියේ දායකත්වය කැපී පෙනෙන මට්ටමක නොවීය. ඔවුන්ගේ ප්‍රධාන සටන්පාඨය වුයේ  ‘‘ගෝටා ගෝ හෝම්” යන්න හා රාජපක්ෂවරු පාලන බලයෙන් ඉවත් කිරිමය. සීමිත ඉලක්කයක් සහිතව අරගලකරුවන් ක්‍රියාත්මකවුවද මහජන නැගිටීම් ආණ්ඩු පාලනය පෙරලා දැමිම දක්වා ව්‍යාප්තවු අතර එම නැගිටීම තුල ජනතා බලයේ ශක්තිය මැනවින් පිළිබිඹු විය. ධනපති රාජ්‍ය යාන්ත්‍රණය දෙදරවීමට තරම් ජනතා අරගලය ශක්තිමත්වු අතර හමුදාවේ හා පොලිසියේ පහල මට්ටමේ භටයින්ගෙන් සැලකිය යුතු කොටසක් අරගලයට නිහඬ සහයෝගය ප්‍රකාශවීම අඩුතක්සේරු නොකල යුතුය.

12.  මැයි 9 හා ජූලි 9 යන දින දෙකක හා අවස්ථා දෙකකදී සිදුවු මෙම ඓතිහාසික නැගිටීම දෙයාකාරයකින් සිදුවිය. මැයි 9 වෙනි දින සිදුවු ජනතා නැගිටිම උතුරේ යාපනය ප්‍රදේශය හැර සමස්ථ ලංකාව පුරා විහිදීගිය විප්ලවීය හැඩයක් ගත් අසංවිධිත ජනතා නැගිටීමකි. එදින ජනතාව තම ගම්බිම් හා නගරවල ස්වෙච්ජාවෙන් වීදි බැස රාජපක්ෂ ආණ්ඩු පාලනයට අභියෝග කළෝය. ආණ්ඩු පාක්ෂික මන්ත්‍රීවරුන්ගේ හා ආණ්ඩුවේ ප්‍රාදේශිය දූෂිත දේශපාලඥයින්ගේ නිවාස හා කාර්යාල පවා ගිනිබත් කිරිම දක්වා අරගලය දියත්වුනි. මෙම ජනතා නැගිටීම කිසිදු දේශපාලන පක්ෂයකට හෝ සංවිධානයකට සම්බන්ධ වුවක් නොවීම කැපී පෙනෙන්නට විය. ජනතාව එදින රාත්‍රිය පහන් වනතුරු ගම් හා නගරවල විදිපුරා ජනතා බලය තහවුරු කරමින් කටයුතු කරන ලද්දේ කිසිම පක්ෂයක මධ්‍යගත මෙහෙයවිමක් නොමැතිවය. හමුදාව හා පොලීසිය ජනතා අරගලය මර්ධනය කිරීමට මැදිහත් නොවී ඉවත බලාසිටිනු දක්නට හැකිවිය.

13.  අරගලය හරහා මතුවූ ජනතා විරෝධය නොතකාහැර තවදුරටත් ජනාධිපතිධුරයේ රැදී සිටීමට ගෝඨාභය කටයුතු කිරීම හේතුකොටගෙන ගෝඨාභයට එරෙහි ජනතා ක්‍රියාකාරිත්වය ජුලිමස වන විට උච්චස්ථානයකට පත්වෙමින් තිබුනි. මැයි 9 දිනට මාස දෙකකට පසුව ජුලි 9 වෙනිදා ඇතිවු ජනතා නැගිටිම කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් රටේ සැම ප්‍රදේශයකින්ම ඒකරාශීවී ජනාධිපති මන්දිරය අල්ලා ගැනීම සිදුවිය. මෙය ජනාධිපති ගෝඨාභයට උමං මාර්ගයක් හරහා නැව් නැග පලායැමට හේතුවූ දැවැන්ත මහජන ක්‍රියාවලියක් විය. මෙලෙස ජනතාව ජුලි 9 වෙනි දින ඈත ගම් නියම් ගම් වල සිට පැමිනියේ එදින කොළඹ නගරයට පනවා තිබු ඇදිරි නීතිය නොතකා වන අතර බස් හා දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම ආණ්ඩුව විසින් නවතා දමා තිබු පරිසරයකය. එසේ වුවද ගාල්ල නුවර වැනි දුම්රිය ස්ථානවලට රැස්වු දස දහස් ගනන් ජනතාව බලහත්කාරයෙන් දුම්රිය ධාවනය ක්‍රියාත්මක කර කොළඹට පැමිණිම පෙන්නුම් කරනු ලබන්නේ විප්ලවකාරී පරිසරයක් තුළ බාදාවන් බිද ගෙන ජනතාවට පාලනය තම අතට ගැනිමට තිබෙන හැකියාවයි.

14.  ශක්තිමත් හා සංවිධානාත්මක විප්ලවවාදී පක්ෂයක් නොතිබිම හේතුකොට ගෙන රටපුරා පසුගිය මාස කිපය තුල ඇතිවු විප්ලවකාරී ජනතා නැගිටීම පූර්ණ ජයග්‍රහණයකින් අවසන් කිරිමට නොහැකිවු අතර දේශපාලනික වශයෙන් විශාල හිදැසක් නිර්මාණය කරන ලදී. සාපේක්ෂ වශයෙන් විශාල ජන පදනමකින් තොර පක්ෂයක් වන අප පක්ෂයට මෙම පසුබිම තුළ මැදිහත්වීමට සිදුවුයේ සිමාන්තික වශයෙනි. රටපුරා විහිදීගිය ශක්තිමත් කේඩරයක් සහිතව සිටියේ නම් මෙම ජනතා නැගිටීමට මෙයට වඩා වෙනස් මගක් ගැනිම සදහා මැදිහත්විය හැකිව තිබුනි. මෙම පසුබිම තුල අරගලයට නායකත්වය සැපයිම සඳහා මහා වැඩ වර්ජනයක් සහිත ක්‍රියාමාර්ගයක් ගැනීම වෙනුවෙන් කම්කරු පංතිය වෙත පැවරී තිබෙන ඓතිහාසික වගකිමට උරදීම සදහා වෘත්තිය සමිති කේෂ්ත්‍රය තුළ නිරන්තර අරගලයක යෙදි සිටියෙමු.

15.  ගෝල්ෆේස් අරගල ක්‍රියාකාරින් විසින් ජුලි මස 5 වෙනි දින ඉදිරිපත් කරන ලද ඉල්ලිම් වලට අපගේ සහයෝගය පළකර සිටි අතර අපගේ මතවාදය ඒ සමග ඉදිරිපත් කර සිටිමු. එය ලංකාව තුල මතුවී තිබෙන දැවැන්ත අර්බුදයට මුලික හේතුව ධනේෂ්වර ක්‍රමයේ අසාර්ථක බාවය යන්න පිළිගැනිමට ඔවුන්ට නොහැකිවිම එම අරගලයේ සීමා මායිම් පෙන්නුම් කරනු ලැබීය. ධනපති ආණ්ඩු පාලනය පෙරලා දැමීමකින් තොරව ජනතා අභිලාෂයන් ජය ගැනිමට නොහැකි බව එම ඉල්ලිම් වලට අන්තර් ගත නොවිම ගැන අපගේ මතය අපි විවෘතව ප්‍රකාශ කර සිටියෙමු.  එසේම ධනපති විද්වතුන් විසින් රටතුල ගොඩනගා තිබෙන වැරදි මතවාදයක් වන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) හරහා රට අර්බුදයෙන් ගොඩගත හැකිය යන්න ගැන අරගල කරුවන්ගේ ප්‍රකාශණයේ කිසිවක් සදහන් නොවිම කෙරෙහි අපේ අවධානය යොමුකළ යුතුය. එසේම අරගලකරුවන් විසින් ප්‍රකාශිත වැඩපිළිවෙලේ අන්තර්කාලීන ආණ්ඩුවක් ගොඩනැගීම සදහා අවකාශය සලසාදී ඇති අතර එසපයේ මතවාදය වන්නේ අන්තර්කාලින ආණ්ඩුවක් වර්තමානයේ ශ්‍රීලාංකික ජනතාව මුහුණදෙන කිසිදු මුලික ප්‍රශ්නයක් විසදිමට අසමත්වන බවය අන්තර්වාර ආණ්ඩු හෝ ඊනියා සර්වපාක්ෂික ආණ්ඩු සූත්‍රය වනාහි සටන්බිමට අවතීර්ණවී සිටින කම්කරුවන් හා ගොවීන් නොමග යැවීම සදහා ධනපති පංතිය විසින් අටවනු ලබන උගුලකි.

 

කම්කරු පංතිය හා වෘත්තිය සමිති ව්‍යාපාරය

 

16.   අප්‍රේල් මාසය වන විට ජන අරගලය පුපුරායෑම සදහා සියලු කොන්දේසි රට අභ්‍යන්තරයේ නිර්මාණයවී තිබුනි. කම්කරු පංතිය දිනපතාම විවිධ උද්ඝෝෂණ වලට ඉතා දැඩි උනන්දුවකින් සහභාගිවීම කැපී පෙනුනි අනෙක් පැත්තෙන් ගෝල්ෆේස් අරගලකරුවන්ගේ උද්ඝෝෂණද පුලුල් ජනතාවගේ සහයෝගය ලබමින් වර්ධනය වෙමින් පැවතින. නායකත්වයකින් තොරව වුවද රාජපක්ෂ පවුල් පාලනය අවසන් කිරිමේ අරගලය ඉතා තීරණාත්මක සන්ධිස්ථානයක් කරා වර්ධනය වන්නට විය. එසේ වුවද වෘත්තිය සමිති නායකත්වය කටයුතු කරනු ලැබුවේ කම්කරු පංති විඥාණයට බොහෝ පිටුපසිනි. වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකතුව තුල මහා වැඩ වර්ජනයක් මැදිකරගත් හර්තාලයක් කැදවා මෝදු වෙමින් එන විප්ලවකාරි තත්වයට නායකත්වය දිමට කටයුතු කිරිමේ අව්‍යශ්‍යතාවය අපි දිගින් දිගටම පෙන්වා දුන්නෙමු. එසපය දේශපාලන පක්ෂ හා වෘත්තිය සමිති වෙත විවෘත ආයාචනයක් කරමින් කම්කරු පංතිය නැගී එන විප්ලවකාරි තත්වයට නායකත්වය සැපයිමේ අනිවාර්ය අවශ්‍යතාවය අවධාරනය කරමින් සමාජ මාධ්‍ය ජාලා උපයෝගි කරගනිමින් කටයුතු කළෙමු. එසේ වුවද වෘත්තිය සමිති නායකත්වය වැඩ වර්ජන තින්දු වලට එළැඹිමට කටයුතු කරනු ලැබුවේ ඉතාමත් මන්දගාමී අන්දමටය.

17.  1980 වැඩ වර්ජනයේ පරාජයෙන් පසුව යම් ප්‍රමානයකට වෘත්තිය සමිති ව්‍යාපාරය නැවත ප්‍රකෘති තත්වයට පත්වුයේ 2021 වර්ෂයේ ක්‍රියාත්මක කෙරුන සාර්ථක ගුරු වැඩ වර්ජනය සමගය. සමස්ථ කම්කරු පංතියට ගුරු වැඩ වර්ජනයේ ජයග්‍රහණයත් සමග ඉතා සටන්කාමී ආස්තානයකට ගමන් කරන්නට විය. එම පසුබිම තුල වුවද වෘත්තිය සමිති ව්‍යාපාරය එක මධ්‍යස්ථානයකට ගොනු කර ගැනිමට නොහැකිවිම පංති අරගලයට විශාල බාධාවක් විය. ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය සපයන වෘත්තිය සමිති සම්බන්ධිකරණ මධ්‍යස්ථානය හා ලංකා ගුැරුසංගමය බැංකු සේවක සංගමයල සී. එම්. යූග ව හා තවත් ස්වාධීන වෘත්තිය සමිති වලට නායකත්වය සපයන වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකතුව යනුවෙන් මධ්‍යස්ථාන දෙකකට වෘත්තිය සමිති ව්‍යාපාරය බෙදී පවති මෙම හේතුව නිසා එකම ඉල්ලීම් හා එකම සටන්පාඨ මත එකම දිනයක ස්ථාන දෙකක උද්ඝෝෂණ වලට කම්කරු පංතිය කැදවීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබීම කණගාටුදායකය. වෘත්තිය සමිති තුළ පවතින වාද විවාද පසෙකලා පංති සටන පෝෂණය කිරිම වෙනුවෙන් එක් මධ්‍යස්ථානයක් ගොඩනැගිම කෙරෙහි අප නිරන්තර අරගලයක නිරතව සිටිමු.

18.  මේ සියලු බාධක මධ්‍යයේ අප්‍රේල් 28 මහා වැඩ වර්ජනයක් කැදවීමට වෘත්තිය සමිති නායකත්වයට සිදුවිය. අප්‍රේල් 28 වැඩ වර්ජනය සමග රාජපක්ෂ ආණ්ඩුව අර්බුදයට ගමන් කිරිම ආරම්භ විය. සැබැවින්ම වැඩ වර්ජනය එක් දිනකට සිමා කරමින් ක්‍රියාත්මකවුවද බොහෝ අංශවල කම්කරුවෝ වැඩ වර්ජනය දිගට පවත්වාගෙන යෑමේ අව්‍යශතාවය බරපතල අන්දමට ප්‍රකාශ කරන්න වූහ. ඉන් පසුව මැයි මස 6 වෙනි දින මහා වැඩ වර්ජනය සමග හර්තාලයක් කැදවිමට පසුබිම් වූයේ පංතිය තුලින් නැගී ආ විශාල ආණ්ඩු විරෝධී උනුසුම තුලය. රටපුරා  කඩ සාප්පු වසා දමා සාමාන්‍ය ජනතාව හර්තාලය සාර්ථක කිරිමට කටයුතු කළ අතර විශේෂයෙන් කදුරට වතුකරයේ දෙමළ කම්කරුවෝ ඉතා උනන්දුවෙන් හර්තාලය හා වැඩ වර්ජනය සාර්ථක කිරිමට දායකත්වය ලබාදුන්හ. හර්තාලය හා වර්ජනයේ සාර්ථකත්වය ඉදිරියේ රාජපක්ෂ ආණ්ඩුව දෙදරා අර්බුදයකට ගමන් කිරිම ආරම්භ වු අතර වර්ජන ව්‍යාපාරය මැයි 9 වන දින තීන්දුව සමග අඛණ්ඩව ඉදිරියට ගමන් කෙරින.

19.  හර්තාලය හා වර්ජනය සාර්ථක ප්‍රථිපල පෙන්වමින් ක්‍රියාත්මක වන පසුබිම තුළ ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය සපයන වෘත්තිය සමිති සම්බන්ධිකරණ මධ්‍යස්ථානය (TUCC) විසින් අනෙක් වෘත්තිය සමිති සමග කිසිදු සාකච්ජාවකින් තොරව වැඩ වර්ජන ක්‍රියාකාරිත්වය නවතා දැමීමට මැයි 11 වනදා තීන්දු කිරිම තීරණාත්මක පාවාදීමක් සනිටුහන් කළේය. මෙලෙස වැඩ වර්ජනය පාවාදීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරනු ලැබුවේ අධිරාජ්‍යවාදින්ගේ පිටු බලය සහිතව රනිල් වික්‍රමසිංහ අගමැතිධුරයට පත්කරන පසුබිමක් තුළවීම බරපතල ලෙස සැලකිමට ගත යුතුය. අරගල භුමිය තුළ ජවිපෙය සිදුකල මෙම පාවාදිමේ ක්‍රියාව හේතු කොටගෙන මතුවු හිදැස ධනේෂ්වර ප්‍රතිගාමිත්වයට හිස එසවීමට අවශ්‍ය පරිසරය නිර්මාණය විය. එතැන් සිට ආරම්භවු පංති අරගලයේ පසුබැසීම මේ දක්වා ගමන් කරමින් පවතින අතර එයින් හිස එසවු රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව ඉතා සැලසුම් සහගත ලෙස අරගලකරුවන් මර්ධනය කිරිම සදහා වන දරුණු මර්ධනකාරී වැඩ පිළිවෙලක් ගෙන යමින් සිටින්නේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතද උපයෝගී කර ගනිමිනි.

 

අරගලයේ ඉදිරි වර්ධනයන්

 

20.  පොදුවේ ගත්කළ මාක්ස්වාදීන් වශයෙන් අප තේරුම් ගත යුත්තේ යටත් විජිත ලෝකය පුරාම විප්ලවය හා ප්‍රතිවිප්ලවය යන හැඩගැසීම් මෙම යුගයේදී එක්වර ක්‍රියාත්මකවන බවය. රටතුළ බරපතල විප්ලවකාරී ජනතා නැගිටීම් මාලාවකින් පසුව මේ වන විට ප්‍රතිවිප්ලවකාරී ක්‍රියාකාරිත්වයක් තහවුරු වෙමින් පවතී. අරගලකරුවන් හා වෘත්තිය සමිති නායකයින් පමණක් නොව දේශපාලන පක්ෂ දක්වා මර්ධනය ක්‍රියාත්මකවීම පෙනෙන්නට ඇත. විරෝධතාකරුවන්ට එරෙහි තිරස්චින මර්ධනයක් දියත්කර තිබෙන අතර මැයි 9 ගෝල්ෆේස් ප්‍රහාරය මෙහෙයවු අය වෙත වෙනම නිතියක් ක්‍රියාත්මක කෙරෙමින් පවතී. මෙම රාජ්‍ය මර්ධනය වසන්කර යටපත් කිරිම සදහා ඊනියා සර්වපාක්ෂික ආණ්ඩු යෝජනාවක් පෙරට දමා ඇති අතර අප එය සහමුලින්ම ප්‍රතික්ෂේප කළයුතු වෙමු. කම්කරු පංතියට හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රබල ප්‍රහාරයක් දියත් කිරිම සදහා ධනේෂ්වරයේ ඊළග පියවර වනුයේ සර්වපාක්ෂික ආණ්ඩු ප්‍රෝඩාවයි. මෙම පසුබිම තුළ ඊනියා අන්තර්කාලීන ආණ්ඩුව හෝ සර්ව පාක්ෂික ආණ්ඩුව නමින් ගොඩනැගෙන ජනතා ද්‍රෝහී ආණ්ඩු උගුලට එරෙහිව කම්කරු පංතිය ඇතුලු පීඩිත ජනතාව පෙල ගැස්සවිම ප්‍රමාධ නොකළ යුතුව ඇත.

21.  බ්‍රිතාන්‍යයෙන් ඊනියා නිදහස ලබාගෙන වසර 74ක කාලයකට පසුව ලාංකික සමාජය මුහුණ දෙන අතිශය දැවැන්ත ධනේෂ්වර අර්බුදයට අපි මුහුණ දෙමින් සිටින්නෙමු. ආර්ථික අර්බුදයක් ලෙස ආරම්භවූ අර්බුදය මේ වන විට දේශපාලන අර්බුදයක් හරහා බහුවිධ අර්බුදයක් බවට පරිවර්තනයවී තිබේ. ලියෝන් ට්‍රොට්ස්කි නොනවතින විප්ලව න්‍යාය මගින් පැහැදිලි කලපරිදි ලංකාව වැනි තුන්වන ලෝකයේ යටත්විජිත රටවල ධනේෂ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ කර්තව්‍යයන් ඉටු කිරිමට දුබල ධනපති පාලකයින් අසමත්ය. නිදහස ලබාගත්දා සිට වරින්වර රට පාලනය කළ සිංහල ධනපති නායකයින් සිදු කලේ නැගී එන ජනතා අරගලයන් ලෙයින් නහවා මර්ධනය කිරිමය. 1971 තරුණ නැගිටීම හා 1988 -89 නැගිටීම පමණක් නොව 1980 වැඩ වර්ජනයද ඉතා කුරිරු අන්දමින් මර්ධනය කරනු ලැබිය 1980 – 2009 දක්වා උතුරේ තරුණයින් දෙමළ ජනතාවගේ අයිතින් දිනා ගැනිම සදහා ගෙනගිය ආයුධ සන්නද්ධ නැගිටීම ලේ ගංගාවක ගිල්වා මර්ධනය කිරිමේ ඉතිහාසයක් ලාංකිය ධනපතියන්ට ඇත. ඇමරිකාව ප්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදින්ගේ සෘජු ඒජන්තයෙකු වන රනිල් වික්‍රමසිංහ නවලිබරල් ආර්ථික වැඩ පිළිවෙල ක්‍රියාවට දැමිම සදහා ඉදිරිකාලයේදී ඕනෑම ආකාරයේ මර්ධනයක් ගෙනයෑමට සුදානම් බව මේ වන විට ප්‍රදර්ශණය කරමින් සිටී.

22.  රනිල් වික්‍රමසිංහගේ විකෘති හා රූකඩ ජනාධිපතිධුරය ඇතුලුව වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු 225 දෙනාම මහජනතාවගේ අභිලාෂයන් නියෝජනය නොකරති. වත්මන් පාර්ලිමේන්තුව සහ ජනතාව අතර චීන මහා ප්‍රාකාරය තරම් පෑහිය නොහැකි පරතරයක් පවතී. ආණ්ඩු විරෝධී ජනතාවගේ එක් ඉල්ලිමක් වුයේ 225 දෙනාම ඉවත්විය යුතුය යන අදහසයග මේ වනවිට එම ඉල්ලීම් කණපිට හැරෙමින් පවතින අතර රනිල් වික්‍රමසිංහ ඇතුලු පාලකයින් පවතින පාර්ලිමේන්තුවේ ඉතුරු කාලය අවසාන වන තෙක් බලය පවත්වාගෙන යෑමේ ක්‍රියාමාර්ගයකට අවතීර්නවී ඇති බව පෙනේ.  ලබන වසර (2023) මුල පැවැත්වීමට නියමිත පලාත් පාලන ඡන්දය (ප්‍රාදේශීය සභ ඡන්දය) නොපැවැත්වීම සදහා රනිල් හා පොහොට්ටු පක්ෂය අතර ගිවිසුම් ගසාගෙන කටයුතු කරන බව පෙනේ. පොහොට්ටුවට මැතිවරණයකට මුහුණදීමට තිබෙන නොහැකියාව මෙයට ප්‍රධාන හේතුව වන අතර යම් ආකාරයේ මැතිවරණයක් පැවැත්වුවහොත් එයින් ආණ්ඩුවට බරපතල පරාජයක් අත්වනු ඇත. මෙම පසුබිම තුල සිමානිර්ණය කිරීමේ ගැටලු උපයෝගී කර ගනිමින් හෝ වෙනත් උපාය මාර්ගයකින් ඡන්ද කල් දැමීමට රනිල් පියවර ගනු ඇත. රනිල් උත්සාහ කරන්නේ  පිං ජනාධිපති වශයෙන් තමන්ට ලැබුණු ජනාධිපති ධුරයේ ඉතිරි වසර 2 1/2 කෙසේ හෝ පවත්වාගෙන යාමටය. එසේ වුවද පාර්ලිමේන්තු බලයක් මෙන්ම ජනතා බලයක්ද නොමැතිව කටයුතු කරන රනිල්ට ඉතිරි වසර 2 1/2 බලය පවත්වාගෙන යාමට හැකිවේද යන්න බොහෝදුරට සැක සහිතය. අරගලයෙන් ලබාගත හැකිව තිබු ජයග්‍රහනයන් ආපසු කැරකැවීමට ධනපති දේශපාලන තන්ත්‍රය සමත් වුයේ කෙසේද යන්න අප තේරුම් ගත යුතුය. වමේ පක්ෂ හා වෘත්තිය සමිති සංවිධාන සමග අවම එකගතාවයක් ගොඩනගා ගැනිමට ගෝල්ෆේස් අරගල භුමිය තුළ පැවති අසමත්භාවය මෙම තත්වය මතුවීමට කේන්ද්‍රීය සාධකයක් විය.

23.  ජනතාව තුළ හා පාර්ලිමේන්තුව තුළ තමන්ට කිසිදු බලයක් නොමැති පසුබිම තුල රනිල් වික්‍රමසිංහට රාජපක්ෂවරුන්ගේ පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු බලය මත යැපීමට සිදුව තිබේ. බලයෙන් පහකරනු ලැබු රාජපක්ෂවරු රනිල්ව තමන්ගේ සීමාවන් තුළ පාලනය කර ගැනිම සදහා පාර්ලිමේන්තු බලය යොදා ගැනීිම ඔවුන්ගේ උපායවී ඇත. එපමණක් නොව රනිල්ට කටයුතු කිරිමට සිදුව තිබෙන්නේ ගෝඨාභය විසින් ගොඩනගන ලද හමුදා යාන්ත්‍රණය සමගවිම රනිල්ගේ පාලනය මුහුණදෙන තවත් අභියෝගයකි. ආර්ථික අර්බුදයට විසදුම් ලබා ගැනිම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මෙන්ම අනෙක් පැත්තෙන් චිනය සමග කේවල් කිරිමේ දුෂ්කර ගමනක් යෑමට රනිල්ට සිදු වන්නේ ඉහත සදහන් කළ අන්දමට රාජපක්ෂවරුන්ගේ මන්ත්‍රී බලය හා අනෙක් පැත්තෙන් ගෝඨාභයගේ හමුදා යාන්ත්‍රණය සමගවිම ඔහුගේ අනාගතය අවිනිශ්චිත භාවයකට පත් කිරීමට තවත් හේතුවක් වනු ඇත. මෙම පසුබිම තුළ රනිල් කටයුතු කිරිමට උත්සාහ ගන්නේ වඩ වඩාත් පොලීසිය හා හමුදාව මත පදනම් වූ කම්කරු පන්තිය ඇතුලු පොදු ජනතාව මත දරූණු ආකාරයේ භීෂණය හා මර්ධනයක් පතිත කරමින්ය. රනිල් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියෙකු ලෙස හදුන්වමින් ඔහු කෙරෙහි විශ්වාසය පළකරමින් කටයුතු කළ ඊනියා වාමාශිකයින් හා රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරින්ගේ දෙකොන පූට්ටුවී ඇත්තේ රනිල් තම සැබෑ මර්ධනකාරී මුහුණුවර පෙන්වමින් කටයුතු කිරිම තුලය.

24.  වර්ධනය වෙමින් පවතින දැඩි රාජ්‍ය මර්ධනයට මුහුනදීම සදහා සටන්කාමී වෘත්තිය සමිති ඇතුලත් වන වාමාංශික හා සමාජවාදි පක්ෂ හා කණ්ඩායම් වල පුලුල් පෙරමුනක් ගොඩනැගීමේ අවශ්‍යතාවය දැඩිව ඉස්මතුව තිබේ. එක්සත් සමාජවාදි පක්ෂය මේ සදහා විවෘත ආරාධනයක් කරමින් එවැනි එක්සත් කමක් ගොඩනගා ගැනිම සදහා වන සාකච්ජාවක හා උත්සාහයක යෙදී සිටී. මාක්ස්වාදී හෝ සමාජවාදය වෙනුවෙන් පෙනි සිටින බව මතුපිටින් පෙන්නුම් කරන ජවිපෙ වැනි ව්‍යාජ මාක්ස්වාදි සංවිධාන මෙවැනි සැබෑ වාමාංශික බලවේගවල එක්සත්කමක් ගොඩනැගිමට විරුද්ධව කටයුතු කරනු ඇත. ඉදහිට මාක්ස්වාදී වචන භාවිතා කළද ජනතා විමුක්ති පෙරමුණට මාක්ස්වාදය සමග කිසිදු සම්බන්ධයක් නොමැති බව අපි දිගින් දිගටම පෙන්වා දී තිබේ. ජවිපෙය මේ වන විට මාක්ස්වාදී වෙස් මුහුණු ගලවා දමා තමන්ගේ සැබෑ පන්ති ස්වරූපය පෙන්වා ඇත. සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවාදී පක්ෂයක් බවත් දක්ෂිණාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යාපාරයක් බව ක්‍රියාකාරිත්වය තුලින් ඔවුන් පෙන්නුම් කරමින් සිටී. මෙම බාධක බිද දමමින් මර්ධනයට මුහුණදිම සදහා වමේ එක්සත්කමක් ගෙඩනැගිමට කටයුතු කිරිමට පෙරට එන ලෙස අපි පෙරටුගාමි සමාජවාදි පක්ෂය වැනි සංවිධානවලට ආරාධනය කරමු. එසේ වුවද පෙරටුගාමි සමාජවාදි පක්ෂය එවැනි වමේ පෙරමුනක් ගොඩනැගිම පසෙකලා දෙමළ ජාතික සංධානය සමගි ජන බලවේගය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනි දක්ෂිණාංශික පක්ෂ සමග සාකච්ජා පවත්වමින් ගෙනයන වැඩ පිළිවෙල අරගල භූමියේ නිරත සටන්කාමින්ට හා කම්කරු පංතිය නොමග යැවීමට හේතු වන අතර පංති අරගලයට නායකත්වය සැපයිම සදහා අත්‍යවශ්‍ය වන වමේ එක්සත් ක්‍රියාකාරීත්වයක් ගොඩනැගීම නොසලකා කටයුතු කිරිම බරපතල ඛේදවාචකයකි.

25.   කම්කරු පංතියේ වර්තමාන අර්බුදය වන්නේ නායකත්වයේ අර්බුදය බව ලියෝන් ට්‍රොට්ස්කි ඉතා පැහැදිලිව පෙන්වා දුන් ඉදිරි මග සාර්ථක කර ගැනිමේ අභියෝගයට මාක්ස්වාදීන් වන අපි මුහුණ දෙමින් සිටිමු. කම්කරු පංතිය පසුගිය මහා වැඩ වර්ජන ක්‍රියාදාමය තුල දැවැන්ත සටන්කාමී බවක් හා අධිෂ්ඨානයක් සහිතව කටයුතු කරන බව මැනවින් ප්‍රදර්ශනය කළේය. එසේ වුවද සමහර වෘත්තිය සමිති නායකයින්ගේ ඊනියා දේශපාලන පක්ෂ විරෝධි නිර්දේශපාලන ක්‍රියාමාර්ගය හා වෘත්තිය සමිති පටු සීමාවන්වලට හිරවී කටයුතු කිරිම ජනතා අරගලයට නායකත්වය සැපයිම සදහා විවෘත වු ඉඩකඩ අවහිර කර ගැනිමට හේතුවිය. රට මුහුණ දෙන දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ කම්කරු පංතිය හා ජනතාව බරපතල ලෙස තම ජීවිත ගෙනයාම පිළිබද ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවනු ඇත. එම තත්වය තුල රනිල් වික්‍රමසිංහගේ රාජ්‍ය මර්ධනය නොතකා නුදුරු අනාගතයේදී කම්කරු පංතිය හා පීඩිත ජනතාව නැවත නැවතත් අරගල මාවතට පිවිසීම වැලැක්විය නොහැක. ගෝල්ෆේස් අරගලය හරහා ප්‍රචලිත වූ මහජන සභාව (කවුන්සිලය) ප්‍රජාතන්ත්‍රවාදී නියෝජනත්වයක් සහිතව ගොඩනැගීමට අප දායකවිය යුතු අතර මහජන කවුන්සිලය යන යෙදුම ගැන අපට වෙනම අදහසක් ඇත. විප්ලවකාරී ව්‍යවස්ථායක මණ්ඩලය යන්න වඩා නිවැරදි අදහස වන්නේය. මහජන සභාව රටපුරා සාර්ථකව ගොඩනගාගැනීම සදහා ඒ ඒ ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන ප්‍රශ්ණවලට විසදුම් ලබා ගන්නේ කෙසේද යන්න ගැන සංයුක්ත පිලිතුර සැපයිමට හැකිවිය යුතුය. වාමාංශික හා සමාජවාදී බලවේග සමග වෘත්තිය සමිතිවල සක්‍රිය නියෝජනයක් ලබාගැනීමද අත්‍යවශ්‍ය කරුණක් වන අතර මේ හරහා පුලුල් මහජන සහබාගීත්වයෙන් ඇතිකර ගැනීමට අරමුණු කරගත යුතුය.

26.  ලංකාව මුහුන දෙන දැවැන්ත අර්බුදයට විසදුම් සැපයිමට රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව අසමත් වන බව මේ වන විටත් පැහැදිලිවෙමින් ඇත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ආර්ථික අර්බුදයට විසදුම් ඉදිරිපත් කිරිමක් සිදු නොවන අතර දේශීය සම්පත් සියල්ල විකුණා දැමීම රාජ්‍ය අංශය කප්පාදු කිරිම හා පීඩිත ජනතාව මත තව තවත් බදු බර පැටවිමට වැනි දේවල් ඔවුන් යෝජනා කරනු ඇත. මෙම අර්බුදයට මුහුණදිම සදහා ඒකාබද්ධ වැඩපිළිවෙලකට පැමිනීමට පසුගාමී දුර්වල ධනපති පංතියට හැකියාවක් නැත. සජිත්ගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය නියෝජනය කරනුයේ පසුගාමී සිංහල බෞද්ධ බහුතර මතවාදයයි. අනෙක් පසින් රනිල් අධිරාජ්‍යවාදයේ සෘජු ඒජන්තයෙක් ලෙස නව ලිබරල්වාදයට කරගසා සිටි. මෙම පසුබිම තුල ලංකාවේ ඉදිරි අනාගතය ඉතාම සංකීර්ණ හා අවිනිෂ්චිත තත්වයක පවති. මෙම වසර අවසානය හෝ 2023 ආරම්භය වන විට ආර්ථික අර්බුදය තවත් උග්‍රවී ඉන්ධන අර්බුදයට විසදුම් දිය නොහැකි තත්වයක් උද්ගතව ගමනා ගමනය සම්පූර්ණයෙන්ම පාහේ අඩාල විය හැකිය. පැය 12කට අධික කාලයක් විදුලිය කප්පාදු කිරිමේ තත්වයක් උද්ගතවිය හැකිය. මේ සමග දූ දරුවන්ගේ අධ්‍යාපනය පවත්වාගෙනයා නොහැකි පසුබිමක පාසැල් වැසීයා හැකිය. මෙයට අමතරව උග්‍ර ආහාර අර්බුදයක් උදාවිය හැකිය. දිගට ඇදී යන රුසියානු හා යුක්රේන යුද්ධය නිසා මෙම අර්බුදය තවත් තීව්‍ර කරනු ඇත.

27.  ගෝල්ෆේස් අරගලයේ පළමුවටය එක්තරා නිමාවකට පත්වෙමින් තිබෙන අතර අරගලයේ දෙවන වටය නිර්මාණය වන්නේ පසුගිය අරගලයේ අත්දැකීම් උකහා ගත් වඩා වර්ධනයවූ අරගලයක් වශයෙනි. එහිදී කම්කරු පංතියේ මැදිහත්වීම් තීරණාත්මක සාධකයක් වනුඇත. අරගලය විසින් ආගම්වාදය ජාතිවාදය ඇතුලු වෙනත් මාදිලියේ බෙදිම් පසුපසට ඇද දැමිමට සමත්වුවද එම බලවේග සහමුලින්ම පරාජය කිරිමට අසමත්වු බව තේරුම්ගත යුතුය. මෙවන් පසුබිමක ඉදිරි කාලයේදී ජනතා අරගල මතුවිම වැලැක්විය නොහැකිය. ඊට මුහුණදීම සදහා රාජ්‍ය මර්ධනය දියත් කිරිම රනිල් ඇතුලු ධනපති පාලකයින්ගේ එකම ක්‍රියාව බවට පත්වනු ඇත. එසේ නමුත් දැවැන්ත ජනතා නැගිටිමක් ඉදිරියේ රාජ්‍ය මර්ධනය හා හමුදා බලය අසරණවී පසුබසින ආකාරය මැයි ජුනි හා ජුලි වල පැවති ජනතා අරගලවලින් පෙන්නුම් කෙරිනග මෙවැනි පසුබිමක මාක්ස්වාදී විප්ලවවාදී පක්ෂයක් එයට නායකත්වය සැපයිම සදහා ගොඩනැගි නොතිබුනද බහුජන අරගලයන් පුපුරා එලියට ඒම වැලැක්විය නොහැකිය. අපගේ වගකිම මෙම තත්වයට මුහුණදිය හැකි කේඩර් ගත විප්ලවවාදී පක්ෂය ගොඩනැගිමට කටයුතු කිරිමය. විප්ලවවාදී පක්ෂයේ ඉදිරි දර්ශණයන් හා ක්‍රියාමාර්ග ඓතිහාසික සිදුවිම් මගින් නිරීක්ෂණය කරනු ලබන බව අපි ඉගෙන ගෙන ඇත්තෙමු.

28.  පසුගිය මාස කිපය තුළ ලංකාවේ දකුණු ප්‍රදේශ සියල්ල වෙලා ගනිමින් මතුවු ජන අරගලයට උතුරේ දෙමළ ජනතාවගේ මැදිහත්වීම නාමික ක්‍රියාකාරී තත්වයට පමණක් සිමාවු බව පෙන්නුම් කෙරින. දෙමළ ජාතික සන්ධානය වැනි සාම්ප්‍රදායික දෙමළ ධනපති නායකයින් දෙමළ ජනතාවගේ ඉල්ලිම් ජය ගැනිම වෙනුවෙන් කිසිදු වැඩ පිළිවෙලක් ඉදිරිපත් නොකර එකී ජනතාව ඉන්දීය ධනපති පාලකයින් හා යුරෝපීය ධනපති නායකයින් වන්දනාවේ ගෙන යමින් සිටී. සම්බන්දන් හා විග්නේෂ්වරන් වැනි නායකයින් රනිල් වික්‍රමසිංහගේ කිහිලිකරුවන් බවට පත්ව ජාතික ප්‍රශ්නයට විසදුම්  ලබාගතහැකිය යන භයානක රැවටිල්ලකට දෙමළ ජනතාව ගෙන යාම සදහා අසාර්ථක උත්සාහයක යෙදි සිටී. මේ වනවිට උතුරේ දෙමළ ජනතාව නායකයින්ගේ අවස්ථාවාදී හැසිරීම් ගැන උවමනාවටත් වඩා අත්දැකීම් ලබාගෙන ඇත. එම පරිසරය තුල දෙමළ ජනතාව නායකත්වයක් නොමැති දේශපාලන භුමියක අතරමංවී ඇති බව ප්‍රකාශ කළහැකිය. උතුරේ පවතින ජන විඥානය මෙලෙස නිර්වචනය කිරිම එම තත්වය අතිශයෝක්තියට නැගිමක් නොවේ. වතුකරයේ ජීවත් වන දෙමළ වතු කම්කරුවන්ගේ තත්වයට මෙයට දෙවැනි නොවේ වතු කම්කරුවන්ට දෛනික රුපියල් 1000/- වැටුප් වැඩිවීම ලබා ගැනීමට තවමත් නොහැකිවී ඇත. වතු ජනතාවගේ අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් වන භුමිතෙල් මිල නොබෝදා අධික ලෙස ඉහල දැමිම ඇතුලු ඉහල යන ජීවන වියදම සමග වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 2000/-ක් වත් විය යුතුය. කදුකරයේ ජීවත්වන වතු කම්කරුවන්ගේ ජාතික අභිලාෂයන් ඇතුලු ඉල්ලීම් ජය ගැනීම සදහා කදුකරයේ දෙමළ ජනතාව වෘත්තිය සමිති භේද නොතකා එක් පෙරමුණක් ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කළ යුතුය.

29.  එක්සත් සමාජවාදි පක්ෂය ආරම්භයේ සිටම දෙමළ කතාකරන දෙමළ හා මුස්ලිම් ජනතාවගේ විමුක්තියේ අරගලය වෙනුවෙන් කොන්දේසි විරහිතව දකුනේ සිංහල ජාතිවාදයට එරෙහිව ඉතා දුෂ්කර කාලපරිච්ජේදයක් පැවති පසුබිම තුළ ක්‍රියාකිරිමේ ඉතිහාසයක් ඇත. සිංහල ස්වොත්තමවාදයට විරුද්ධව පෙනි සිටිමින් අඛණ්ඩව දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණය අයිතිය වෙනුවෙන් පෙනි සිටින එකම පක්ෂය එක්සත් සමාජවාදි පක්ෂයයි. දෙමළ ජාතික ප්‍රශ්නයට අර්බුදයට ගොස් සිටින ධනපති පංතියෙන් විසදුමක් නොලැබෙන බවත් ජාතික ප්‍රශ්නයට විසදුම් ලබා ගැනිම සදහා උතුරේ ජනතාව දකුණේ කම්කරු පංතිය ප්‍රමුඛ ප්‍රගතිශීලී බලවේග සමග එක්ස්ව කටයුතු කර ධනපති ක්‍රමය පෙරලා දැමිම එයට තිබෙන එකම පිළිතුර වන්නේය. උතුරේ දෙමළ ජනතාවට තනිවම සටන් කර ජාතික විමුක්තිය හා නිදහස ලබාගත නොහැකිවා සේම දකුණේ සිංහල ජනතාවගේ ප්‍රශ්ණවලට තනිව සටන්කිරිමෙන් විසදා ගත නොහැකි බව පසුගිය ඉතිහාසය පෙන්නුම් කර ඇත. පසුගිය රාජපක්ෂ පාලනය විසින් ඉතා සැලසුම් සහගතව මුස්ලිම් ආගමික විරෝධයක් ගොඩනගා දර්ගා නගරය අම්පාර හා දිගන යන ප්‍රදේශවල මුස්ලිම් ජනතාව මත විශාල මර්ධනකාරී වැඩ පිළිවෙලක් ගෙනයන ලදී. කෙසේවුවද අර්බුදයේ ගිලි පවතින ධනපති පක්ෂ ඉදිරි කාලයේදී නැවත වරක් දෙමළ හා සිංහල ජනතාව ජාතිවාදි වර්ගවාදි ගැටුම් වලට ඇද දැමීමට තිබෙන හැකියාව ගැන අප අවධියෙන් සිටිය යුතුව ඇත. රාජපක්ෂවරුන් විසින් පෝෂණය කරන ලද විසකුරු සිංහල බෞද්ධ ජාතිවාදය තාවකාලිකව යටපත්ව ඇති නමුත් ජාතිවාදය සම්පූර්ණයෙන් පරාජයට පත්වී නොමැති බව අවධාරණය විය යුතුය. මෙම තත්වයට මුහුණදිම සදහා උතුරේ දෙමළ ජනතාවද නැගෙනහිර මුස්ලිම් ජනතාව හා කදුකරයේ වතුකම්කරු ජනතාවගේ දැවෙන ප්‍රශ්න වෙනුවෙන් ඒකාබද්ධ උද්ඝෝෂණ සංවිධානය කිරීම සදහා පුලුල් වේදිකාවක් නිර්මාණය කිරිම සදහා අප යොමුවිය යුතුව ඇත.

30.  වර්තමානයේ ලංකාව මුහුණ දෙන ගැඹුරු අර්බුදයට විසදුම් සදහා වන ක්‍රියාමාර්ගය පැහැදිලි කරමින් අප්‍රේල් මැයි ජුනි ජුලි අරගල මතුවිමට මත්තෙන් පසුගිය මාර්තු මාසයේදී එසපය විසින් වැඩ පිළිවෙලක් එළි දක්වනු ලැබීය. රට මුහුණ දෙන විදේශ විනිමය අර්බුදයට විසදුමක් වශයෙන් ඇමරිකාව ඉන්දියාව චීනය ජපානය වැනි රටවලට ගෙවිමට තිබෙන විදේශ ණය වහාම අහෝසි කිරිම සදහා පියවර ගතයුතු බවට යෝජනා කළ එකම පක්ෂය එසපය වන්නේය. එම ඉල්ලිම් මාලාව තුලින් අප පෙන්නුම් කරනු ලැබුවේ ලංකාව මුහුණ දෙන අර්බුදයට ධනපති ක්‍රමය තුල විසදුම් ලබාගත නොහැකි බවය. අර්බුදයට විසදුම් ලබාදිම සදහා සමාජවාදි විකල්පයක් ගෙඩනැගිය යුතු බව අප එහි ඉතා දැඩිව අවධාරණය කළෙමු. මෙහිදී සමාජවාදීන්ට එක්වර දෙආකාර මැදිහත්විමක් සිදු කිරිමට සිදුවනු ඇත. මෙම ද්විත්ව ක්‍රියාකාරීත්වය නිවැරදි තුලනයක් සහිතව පවත්වාගෙන යාම වැදගත්ය. පලල්ව සමාජය තුල පවතින දුර්වල දේශපාලන විඥානය තේරුම් ගනිමින් මැදිහත්විය යුතු අතරම අනෙක් පැත්තෙන් අපගේ වැඩපිළිවෙල හා ක්‍රියාමාර්ග බාල්දු කිරිමට ඉඩ නොදෙමින් සමාජවාදය වෙනුවෙන් පෙනී සිටිම අත්‍යවශ්‍යවේ.  එසේම එම සමාජවාදි අරගලය ජය ගැනිම සදහා අසල්වැසි දකුණු ආසියාවේ ඉන්දියාව පකිස්ථානය බංගලාදේශය වැනි රටවල කම්කරු පංතිය හා පීඩිත ජනතාවගේ සහයෝගය ලබාගැනිමේ අනිවාර්ය අවශ්‍යතාවයද පෙන්නුම් කරන ලදී. අපගේ ක්‍රියාමාර්ගය වන්නේ දකුණු ආසියානු කලාපයේ එක්සත් සමාජවාදී සමුහආණ්ඩුවක් උදෙසා සටන් වැඳීමය. කම්කරු ජාත්‍යන්තරයක් සදහා කමිටුවේ (CWI) ඉදිරි දර්ශනය හා ක්‍රියාමාර්ග හා බද්ධ වෙමින් එක්සත් සමාජවාදි පක්ෂය ජාත්‍යන්තර සමාජවාදි විප්ලවයේ කොටස්කරුවන් ලෙස කටයුතු කරන අප ආසියානු උප මහද්විපයේ සමාජවාදි විප්ලවය ගොඩනැගිමේ අභියෝගය ජයගැනිම සදහා කටයුතු කරමින් සිටි.

 

 

 

 

 

 

 

 

 

 

 

About Taniya

Scroll To Top