Home / Articles / අදටත් වැදගත් ට්‍රොට්ස්කිගේ න්‍යාය – ටෝනි සනුවා – CWI ජාත්‍යන්තරයේ ලේකම්

අදටත් වැදගත් ට්‍රොට්ස්කිගේ න්‍යාය – ටෝනි සනුවා – CWI ජාත්‍යන්තරයේ ලේකම්

ට්‍රොට්ස්කි ඝාතනයේ 83 වැනි සංවත්සරය:

ස්ටැලින්වාදී ඒජන්තයෙකු විසින් ප්‍රහාරයට ලක්වීමෙන් පසු විප්ලවවාදී සමාජවාදීයෙකු වූ ලියොන් ට්‍රොට්ස්කි 1940 දී ඝාතනයට අගෝස්තු 21 වෙනි දිනට 83 වෙනි සංවත්සරය සනිටුහන් කරයි. ලෙනින් සමග ට්‍රොට්ස්කි රුසියාවේ 1917 ඔක්තෝබර් සමාජවාදී විප්ලවයේ ප්‍රමුඛතම නායකයා විය. ලෙනින් සමග සැබෑ මාක්ස්වාදයේ බලවේග ප්‍රතිනිර්මාණය කිරීමට ට්‍රොට්ස්කි කටයුතු කළේය. 2020 වසරේ දී ට්‍රොට්ස්කි ඝාතනයේ 80 වැනි සංවත්සරය සැමරීම සඳහා සී ඩබ්ලිව් අයි ජාත්‍යන්තරය විසින් ට්‍රොට්ස්කිගේ අදහස් පිළිබඳ “ලියොන් ට්‍රොට්ස්කි – මරා දැමිය නොහැකි විප්ලවවාදියෙකී” නමින් වූ කෘතිය ප්‍රකාශයට පත් කරන ලදී. ට්‍රොට්ස්කිගේ ජීවිතය හා දේශපාලන ගමන් මඟ පිළිබඳ සී ඩබ්ලිව් අයි ජාත්‍යන්තරයේ ලේකම් ටෝනි සනුවා විසින් එම පොතට එකතු කළ දළ සටහනේ සාරාංශයක් අපි මෙහි පළ කරමු.

1917 ඔක්තෝම්බර් මාසයේදී රුසියානු විප්ලවයේ ලෙනින් සමග සම-නායක වූ ලියොන් ට්‍රොට්ස්කි ස්ටැලින්වාදී රහස් පොලිස් ඒජන්තයෙකු වූ රේමන් මර්කේඩර් විසින් ඝාතනය කිරීමේ 80 වැනි සංවත්සරය 2020 වසරේ සනිටුහන් කරයි. ඔහුගේ ම්ලේච්ඡ ක්‍රියාව වෙනුවෙන්, මර්කාඩර්ට ස්ටාලින්ගේ මිනීමරු පාලනය යටතේ ඉහළම පදක්කම පිරිනමන ලදී, ට්‍රොට්ස්කිගේ ඝාතනය සමග ට්‍රොට්ස්කි ආරක්ෂා කළ අදහස් ද වළ දමනු ඇතැයි ස්ටැලින්වාදීන් බලාපොරොත්තු විය. කෙසේ වෙතත් ඔබට මිනිසකු මරා දැමිය හැකි නමුත් එම පුද්ගලයා ඉදිරිපත් කළ විප්ලවවාදී අදහස් මරා දැමිය නොහැකිය. වර්තමානයේ ගෝලීය ධනවාදය 1930 ගනන් වලින් නොදුටු අර්බුද සහ කැලඹිලි සහිත නව යුගයකට අවතීර්ණ වී ඇත. මෙම පසුබිම තුල ලියොන් ට්‍රොට්ස්කිගේ භූමිකාව සහ අදහස් සහ අද පුපුරා යන අරගලවලට හා ඒවායේ අදාළත්වය පිලිබඳ පරීක්ෂණයක් වෙයි.
ධනවාදයේ නියෝජිතයන් සහ කම්කරු ව්‍යාපාරයේ සිටින දක්ෂිනාංශික ඔවුන්ගේ ඒජන්තයින් ට්‍රොට්ස්කි සහ ඔහුගේ අදහස් බැහැර කිරීමට උත්සාහ කර ඇත. මෙය සාමාන්‍යයෙන් විකෘති කිරීම්, අපහාස කිරීම් සහ කෝපයෙන් පිරුණු මඩ ප්‍රහාර වලින් පිරී ඇත. එහෙත් ඔහුගේ අදහස් වැළලීමට ඔවුන් අපොහොසත් වී ඇත. ට්‍රොට්ස්කි පෙනී සිටි අදහස් සහ ඔහු ලෙනින් සමග එක්ව ආරක්ෂා කළ මාක්ස්වාදී විධික්‍රම එදාටත් වඩා අදට අදාළ වේ.
මෙම පොතෙන් අපි ට්‍රොට්ස්කි විසින් වර්ධනය කරන ලද ප්‍රධාන අදහස් සහ ක්‍රමවල අදාළත්වය සහ ඒවා අද ලෝකයට අදාළ වන ආකාරය විමසා බලමු. සියලුම ශ්‍රේෂ්ඨ මාක්ස්වාදී නායකයන් මෙන් – මාක්ස්, එංගල්ස් සහ ලෙනින් – ට්‍රොට්ස්කි වියුක්ත න්‍යායික නායකයන් නොවීය. ට්‍රොට්ස්කි දක්ෂ චින්තකයෙකු වූ නමුත් විප්ලවයේ සහ ප්‍රතිවිප්ලවයේ ගිනිදැල් තුළ ඔහුගේ අදහස් සහ ක්‍රියාමාර්ගය පරීක්ෂා කළ විප්ලවවාදී ව්‍යාපාරයේ ආනුභාව සම්පන්න සටන්කරුවෙකු සහ ක්‍රියාකාරිකයෙකි. වර්තමාන විප්ලවවාදීන්ට අපේක්ෂා කළ හැක්කේ ඔහු ආරක්ෂා කළ මාක්ස්වාදී අදහස් සහ නව සමාජවාදී ලෝකයක් ගොඩනැගීමේ ඔහුගේ ඉලක්කය වෙනුවෙන් ට්‍රොට්ස්කිගේ දැවැන්ත පරිත්‍යාගය අනුකරණය කිරීම පමනි.

1917 විප්ලවයේදී සහ බෝල්ෂෙවික්වරුන් බලයට පත්වීමෙන් පසුව, බොල්ෂෙවික්වරුන් තුළ සහ ලෙනින් සහ ට්‍රොට්ස්කි අතර පැවති වාද විවාද සහ සාකච්ඡා මාලාවකින් මෙම වෙනස්කම් පිළිබඳ අවංක අගය කිරීම සහ වැරදි හඳුනා ගැනීමට ඇති කැමැත්ත හෙළිදරව් විය. සිවිල් යුද්ධයේ උපක්‍රම, 1918 දී බ්‍රෙස්ට්-ලිතොව්ස්ක් හි සාම සාකච්ඡා, නව ආර්ථික ප්‍රතිපත්තිය, යුද කොමියුනිස්ට්වාදය පැවති සමයේ වෘත්තීය සමිතිවල කාර්යභාරය සහ අනෙකුත් වැදගත් ප්‍රශ්න සම්බන්ධයෙන් දැඩි විවාද ඇති විය. ලෙනින්ගේ නායකත්වය යටතේ ”ආඥාදායකත්වය” සඳහා යන්න සරලව විග්‍රහ කරමින් විප්ලවයෙන් ඉක්බිති කාලපරිච්ඡේදයේ දී බෝල්ෂෙවික් වාදය සහ සෝවියට් තන්ත්‍රය, කිසිදු විවාදයක් හෝ විසම්මුතියක් නොඉවසන ලද වූ බවට ධනේශ්වර විචාරකයින් සහ ඉතිහාසඥයින් විසින් සිදු කළ සාවද්‍ය ප්‍රකාශනයන්ය. ඇත්ත වශයෙන්ම, ඒකාධිපති පාලනයක් පසු කාලීනව ස්ටාලින් විසින් ක්‍රියාවට නංවන ලදි.

1903 රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ කොංග්‍රසයෙන් පසු බොල්ෂෙවික්වරුන් සහ මෙන්ෂෙවික්වරුන් අතර පැවති සබඳතා බිඳ දැමූ ට්‍රොට්ස්කි, 1905 විප්ලවය සඳහා රුසියාවට ආපසු පැමිණි අතර, වහාම අරගලයට මැදිහත් විය. ඔහු කම්කරු නියෝජිතයින්ගේ සෝවියට් සභාවේ (කවුන්සිලයේ) සභාපති ලෙස තේරී පත් විය. සෝවියට් සභහාවන් පිහිටුවීම ශාන්ත පීටර්ස්බර්ග් නගර සේවකයින්ගේ තීරණාත්මක පියවරක් විය. කම්කරු පන්තියේ මෙම ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන බිහිවීම අරගලයේ තීරනාත්මක අවයවයන් බවට පත් වූ අතර 1917 ඔක්තෝබර් විප්ලවයෙන් පසුව පිහිටුවන ලද නව සමාජවාදී කම්කරු රාජ්‍යයේ පදනම විය.
සෝවියට් සභා වල වැදගත්කම ට්‍රොට්ස්කි මුල සිටම අවබෝධ කරගත් අතර රුසියාවේ සිටි සමහර ප්‍රමුඛ බොල්ෂෙවික්වරු මෙම නව ආකාරයේ කම්කරු සංවිධාන බිහිවීමේ තීරනාත්මක වැදගත්කම හඳුනා ගත්තේ නැත. මෙම නව සංවිධානය පක්ෂයට තර්ජනයක් ලෙස ඔවුන් දකින්නට විය. මෙම න්‍යායික වැරැද්ද නිවැරදි කිරීමට ලෙනින්ගේ මැදිහත්වීම අත්‍යවශ්‍යය විය.

විප්ලවයේ අවධිය

විප්ලවවාදී නැඟිටීම් වලදී මතුවිය හැකි නව සංවිධාන වල ස්වරූපය ගැන මාක්ස්වාදීන්ට භීතියක් නොතිබීම වැදගත්ය. ට්‍රොට්ස්කි රුසියාවේ සෝවියට් සභා වල තීරනාත්මක භූමිකාව පිළිගත් අතර 1905 දී එය නව ආකාරයේ සංවිධානයක් විය. අනෙකුත් විප්ලවවලදී රුසියානු සෝවියට් ආකෘතියේ නිශ්චිත අනුරුවක් සඳහා ඔහු අවධාරනය කළේ නැත. ජර්මනිය සම්බන්ධයෙන්, 1923, ට්‍රොට්ස්කි කර්මාන්තශාලා කමිටුවල තීරනාත්මක වැදගත්කම හඳුනා ගත්තේය. ඔහු 1930 ගනන්වල ස්පාඤ්ඤයේ කම්කරු කමිටු හෝ ”ජුන්ටාස්” පිහිටුවීම වෙනුවෙන් ඔහු පෙනී සිටියේය. වෘත්තීය සමිති තුළ සංවිධිත කම්කරු පන්තියේ තීරණාත්මක කාර්යභාරය විප්ලවවාදී සමාජවාදීන් හඳුනාගෙන ඒවා සටන්කාමී සටන් සංවිධාන බවට පරිවර්තනය කිරීමේ අරගලයක් කිරීම අද වැදගත් ය. ඒ අතරම, රැකියා ස්ථානවල සහ ප්‍රාදේශීය ප්‍රජාවන්හි නව අරගල සංවිධාන ද වර්ධනය විය හැකිය. විප්ලවවාදී සමාජවාදීන් එවැනි වර්ධනයන් සඳහා සූදානම් විය යුතු අතර අවශ්‍ය තැන්වලදී ඒවා සඳහා නිශ්චිත යෝජනා ආරම්භ කළ යුතුය.

1905 විප්ලවයේ පරාජය සමග ට්‍රොට්ස්කි අත්අඩංගුවට ගෙන යලිත් වරක් සයිබීරියාවට පිටුවහල් කරන ලදි. සිරගතව සිටියදී, ඔහු 1905 විප්ලවයේ අත්දැකීම් මත පදනම් වූ ඔහුගේ වඩාත්ම වැදගත් කෘතිවලින් එකක් වන “ප්‍රතිඵල සහ අපේක්ෂාවන්” ලිවීය. ධනවාදය වැඩවසම්වාදයේ අංග සමඟ කරට කර පැවති සහ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ කර්තව්‍යයන් වූ – කර්මාන්ත සංවර්ධනයට විසඳුම් සෙවීම වැනි පූර්ව විප්ලවවාදී රුසියාව වැනි රටවල විප්ලවයේ ස්වභාවය පිළිබඳ ප්‍රශ්නය ට්‍රොට්ස්කි පැහැදිලි කළේය. මෙම රටවල් තුළ මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද ඒකාබද්ධ හා අසමාන සංවර්ධන ක්‍රියාවලියක් පැවතුනි. ජාතීන් තුළ සහ ජාතීන් අතර, සංවර්ධනයේ ඌනතාවය සහ පසුගාමීත්වය සමඟ ඉහළ මට්ටමේ සම්බන්ධයක් පවතී. අද බ්‍රසීලය හෝ ඉන්දියාව වැනි රටවල ආර්ථිකයේ සාපේක්ෂ වශයෙන් සංකීර්ණ සහ සංවර්ධිත අංශ – තාක්ෂණය සහ අනෙකුත් ක්ෂේත්‍ර – වැඩවසම් තත්වයන් සහ වහල්භාවය සමඟ පවා සමපාත වේ. වැඩවසම් ඉඩම් හිමියන් හා ඔවුන්ගේ ක්‍රමය සමඟ පැටලී සිටින ධනේශ්වර පන්තිය, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ මෙම කර්තව්‍යයන් ඉටු කිරීමට නොහැකි තරම් දුර්වල බවත්, එය ක්‍රියාත්මක කිරීමට ඉඩ දීමට කම්කරු පන්තිය කෙරෙහි ඔවුන් දැඩි බියක් දක්වන බවත් ට්‍රොට්ස්කි තර්ක කළේය.

මෙය කළ හැකි වූයේ කම්කරු පන්තියට පමනි, නමුත් බලය ලබා ගත් වහාම එය ධනපතියන් හා ඉඩම් හිමියන් සමඟ ගැටුමක් ඇති කරවන අතර විප්ලවවාදී ක්‍රියාවලිය සමාජවාදී විප්ලවය දක්වාත් ධනවාදයේ හා වැඩවසම්වාදයේ අවසානය දක්වාත් ගමන් කරනු ඇත. මෙය සාර්ථක ලෙස වර්ධනය වීමට නම්, විප්ලවය ජාත්‍යන්තර කම්කරු පන්තිය සමඟ වේගයෙන් සම්බන්ධ වී කාර්මික ධනේශ්වර රටවල සමාජවාදී විප්ලවය හරහා ගෙන යා යුතුය. මෙම අදහස් පසුව 1917 ඔක්තෝම්බර් මාසයේ රුසියාවේ විප්ලවයේ සිදුවීම් මගින් තහවුරු විය. මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් ට්‍රොට්ස්කි විසින් වර්ධනය කරන ලද අදහස්, විප්ලවයේ ස්වභාවය සහ එයට නායකත්වය දිය යුතු පන්තිය පිලිබඳ ඔහුගේ ප්‍රවේශය සංක්ෂිප්ත කිරීමට ලෙනින්ට උපකාර විය.

නොනවතින විප්ලව න්‍යාය

නොනවතින විප්ලවය සම්බන්ධයෙන් ට්‍රොට්ස්කි විසින් වර්ධනය කරන ලද අදහස් අද ආසියාවේ, අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ නව යටත් විජිත ලෝකයේ පන්ති අරගලය පිළිබඳ අවබෝධය ලබා ගැනීම සඳහා තීරනාත්මක ය. ට්‍රොට්ස්කි තම අදහස් වර්ධනය කළ කාලයට වඩා අද මෙම රටවල සමාජවාදී විප්ලවයේ වර්ධනය සඳහා වඩාත් හිතකර තත්වයක් පවතී. මෙම රටවල පාලක පන්තීන්ට තවමත් ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ කර්තව්‍යයන් සම්පූර්ණ කිරීමට නොහැකි වී ඇත. සමාජවාදී විප්ලවය සිදු කිරීම සඳහා කම්කරු පන්තියට මෙම ඓතිහාසික මෙහෙවර සාක්ෂාත් කර ගත යුතුය. කෙසේ වෙතත්, අද බොහෝ නව යටත් විජිත ලෝකයේ, කම්කරු පන්තිය පූර්ව විප්ලවවාදී රුසියාවට වඩා බෙහෙවින් ශක්තිමත් සහ දියුණු ය. මෙය සිදුවී ඇති දැවැන්ත නාගරීකරණයෙන් සහ ගම්බද සිට නගරවලට මිනිසුන් සංක්‍රමණය වීමෙන් පිළිබිඹු වේ.

1907 රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයේ සම්මේලනයට සහභාගී වීමට ට්‍රොට්ස්කි කෙටි කලකින් නැවත ලන්ඩනයට පැමිණියේය. එතැන් සිට ට්‍රොට්ස්කි සිය පිටුවහල් කිරීමේ මීළඟ කාලය සඳහා වියානා, පැරිස් සහ ස්විට්සර්ලන්තයේ ජීවත් විය. 1914 දී පළමු ලෝක යුද්ධය පුපුරා යාම, යුරෝපය පුරා බහුජන කම්කරු පක්ෂ නායකත්වය ජාතික ස්වෝත්තමවාදයට යටත් වීම දුටුවේය. මෙම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නායකයන් ඔවුන්ගේ රටවල ජාතික ධනේශ්වර පන්තියට සහාය දුන්හ. මෙම පීඩනයට එරෙහි වීමට සහ ප්‍රතිපත්තිමය වශයෙන් නිර්ධන පංති ජාත්‍යන්තරවාදී ආස්ථානයක් පවත්වා ගැනීමට හැකි වූ විප්ලවවාදී මාක්ස්වාදීන්ගේ කුඩා සුලුතරය සංඛ්‍යාවෙන් ස්වල්පයක් වූ අතර ඔවුන්ට ලෙනින් සහ ට්‍රොට්ස්කි ද ඇතුළත් විය. 1915 සැප්තැම්බර් මාසයේදී ස්විට්සර්ලන්තයේ “සිමර්වෝල්ඩ්” ගම්මානයේ පැවති ජාත්‍යන්තර සමුළුවේදී මෙම බලවේග එකට එක්වීමට සමත් විය. “මයි ලයිෆ්” හි ට්‍රොට්ස්කි නියෝජිතයින් “අදියර හතරක්” ඇති බව අදහස් දක්වයි. මෙම සමුළුව පවා ලෙනින් විසින් නායකත්වය දුන් බහුතර සාමවාදී අංශයක් සහ විප්ලවවාදී අංශයක් ලෙස කොටස් දෙකකට බෙදී තිබුණි. ඉතා අමාරුවෙන්, ට්‍රොට්ස්කි කෙටුම්පත් කළ පොදු වේදිකාවකට එකඟ වීමට ඔවුහු සමත් වූහ. අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි මෙම ස්ථාවරය හේතුවෙන් ට්‍රොට්ස්කි ප්‍රංශයෙන් සහ ස්පාඤ්ඤයෙන් නෙරපා හරින ලදී.

විප්ලවවාදී රුසියාවට ආපසු පැමිණීම

අවසානයේ බි්‍රතාන්‍යයන් විසින් නිදහස් කරන ලද ට්‍රොට්ස්කි 1917 මැයි මාසයේදී රුසියාවේ පෙට්‍රොග්‍රෑඩ් නගරය වෙත පැමිණියේය. මේ වන විටත් ඔහු බොල්ෂෙවික් පක්ෂයේ සාමාජිකයෙකු නොවීය. අප්‍රේල් මාසයේදී පිටුවහල් කර සිටි ලෙනින් ආපසු රුසියාවට පැමිණ ඔහුගේ ‘අප්‍රේල් නිබන්ධනය‘ නැමැති ඵෙතිහාසික ලියවිල්ල ප්‍රකාශයට පත් කළේය. මෙය පැහැදිලිවම විප්ලවයේ ස්වභාවය සහ ධනේශ්වර තාවකාලික ආන්ඩුව කෙරෙහි කිසිදු විශ්වාසයක් නොතබමින් කම්කරු පන්තිය බලය ලබා ගැනීමේ අවශ්‍යතාවය ලෙනින් විසින් දැඩිව පෙන්නුම් කරන ලද අවස්ථාව විය. මෙම ආස්ථානයේ නිවැරදි බව පක්ෂයට ඒත්තු ගැන්වීමට බොල්ෂෙවික්වරුන් තුල ලෙනින්ට විශාල අරගලයක් කිරීමට සිදුවිය.

සාන්ත පීටර්ස්බර්ග්හිදී කම්කරු පන්තිය වීදිවලට බැස සටන් කරමින් සිටි අවස්ථාවේ බොල්ෂෙවිකයන්ට එරෙහිව කෙරෙන්ස්කිගේ ධනපති තාවකාලික ආන්ඩුව විසින් එම නැඟිටීම මර්දනය කිරීම සඳහා මහා අවලාද නැඟු මාසය වන ජූලි දිනයන්හිදී ට්‍රොට්ස්කි අත්අඩංගුවට පත්වූ අතර ලෙනින්ට සැඟවීමට බල කෙරුනි. ට්‍රොට්ස්කි මෙම අරගලය තුලදී බොල්ෂෙවිකයන්ට සම්බන්ධ වූ අතර, ඔහුගේ අධිකාරය සහ ස්ථාවරය පිළිබිඹු කරමින් බොල්ෂෙවික් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට තේරී පත් වූයේ මෙම කාල පරිච්ඡේදයේදී ය. සැප්තැම්බර් මාසයේදී සිරෙන් නිදහස් වූ ට්‍රොට්ස්කි වහාම පෙට්‍රොග්‍රෑඩ් සෝවියට් සභාවේ සභාපතිවරයා ලෙස තේරී පත් විය. ඔහු විප්ලවය සංවිධානය කිරීමේ සහ කම්කරු පන්තිය බලයට ගෙන ඒමේ තීරණාත්මක කාර්යභාරය ඉටු කිරීමට නියමිතව තිබූ හමුදා විප්ලවවාදී කමිටුවට නායකත්වය දුන්නේය.

ඔක්තෝබර් විප්ලවයෙන් පසු කාලපරිච්ඡේදය තුළ (සාර්වාදය යටතේ පැරණි දින දර්ශනයේ නොවැම්බර්) ට්‍රොට්ස්කි තරුණ කම්කරු රාජ්‍යය ආරක්ෂා කිරීමේ තීරනාත්මක භූමිකාවක් ඉටු කළේය. රුසියානු විප්ලවයේ අනාගත සාර්ථකත්වය රඳා පවතින්නේ යුරෝපයේ කාර්මික රටවල – ජර්මනිය, බි්‍රතාන්‍යය, ප්‍රංශය සහ වෙනත් තැන්වල – කම්කරු පන්තිය ඔවුන්ගේම ධනේශ්වර පන්තිය ඉවත දමා සමාජවාදය ගොඩනැගීම ආරම්භ කිරීම සඳහා රුසියානු කම්කරුවන් සමඟ එකට සම්බන්ධ වීම මත බවය. එසේ වුවද බොල්ෂෙවික්වාදී ජාත්‍යන්තරවාදය අතහැර ට්‍රොට්ස්කි සහ වාම විපක්ෂය ආරම්භයේ සිටම සටන් කළ “එක රටක සමාජවාදය” යන විසකුරු අදහස අනුගමනය කිරීමට ස්ටාලින්ට හැකි වූයේ 1924 ලෙනින්ගේ මරණයෙන් පසුවය.

ජාත්‍යන්තර විප්ලවයේ ප්‍රමාදවීම හේතු කොට ගෙන බෝල්ෂෙවික්වරුන්ට හදිසි පියවර මාලාවක් ගැනීමට කාලය අවශ්‍ය විය. 1918 බ්‍රෙස්ට් ලිව්ටොස්ක් සාම සාකච්ඡා අතරතුර සෝවියට් ආන්ඩුවේ විදේශ කොමසාරිස් ලෙස තීරනාත්මක කාර්යභාරයක් ට්‍රොට්ස්කි ඉටු කලේය. ප්‍රතිවිප්ලවවාදී හා අධිරාජ්‍යවාදී හමුදා විසිඑකකට එරෙහිව සටන් කිරීමට ඔහු ළදරු සෝවියට් ආණ්ඩුව ආරක්ෂා කිරීම සඳහා රතු හමුදාව ගොඩනැගුවේ කිසිවක් නොමැති පසුබිමකය.බ්‍රෙස්ට් ලිව්ස්ටොස්ක් සාම සාකච්ඡා අතරතුර ට්‍රොට්ස්කිගේ ක්‍රියාකලාපය, ස්ටැලින්වාදීන් ඔහුව අපකීර්තියට පත් කිරීමට පසුකාලීනව භාවිතා කළ ප්‍රශ්නවලින් එකකි.

1917-1918 යුද්ධය අවසන් කිරීම සඳහා ”ජර්මනිය සමග සාම ගිවිසුම අත්සන් කිරීමට විරුද්ධ වූයේ ට්‍රොට්ස්කි පමනක්” යන ව්‍යාජ චෝදනාව 1924 දී ඔවුන් විසින් ප්‍රචාරය කිරීමට පටන් ගත්හ.
සත්‍යය නම් නව සෝවියට් රජය ඉතා අවිනිශ්චිත තත්ත්වයකට මුහුණ දුන් බවයි. සොල්දාදුවන් යුද අගල් අතහැර යුද්ධය නතර කරන ලෙස ඉල්ලා සිටියහ. ධනේශ්වර තාවකාලික ආන්ඩුව සාමය ලබා දීමට අසමත් විය. ඔක්තෝබර් 26 වන දින සෝවියට් සංගමයේ සම්මේලනය යුද්ධය අවසන් කිරීම සහ සාමය සඳහා ආයාචනා කරන යෝජනාවකට එකඟ විය. දෙසැම්බර් මාසයේදී සෝවියට් රජය සහ ජර්මනිය අතර සාකච්ඡා ආරම්භ විය. ලෙනින් සහ ට්‍රොට්ස්කි සඳහා තීරනාත්මක සාධකය වූයේ යුද්ධය ජර්මානු හමුදාවට සහ ජර්මානු විප්ලවයක් සඳහා වූ අපේක්ෂාවන්ට කුමන බලපෑමක් ඇති කළේද යන්නයි. ජර්මනියේ සාර්ථක විප්ලවයක් තහවුරු කරන්නේ නම් රුසියාවේ විප්ලවය අනතුරට පත්වීමේ හැකියාව ලෙනින් මතු කළේ මෙම සාකච්ඡා අතරතුර ය. ජර්මානු හමුදාවේ නිශ්චිත තත්වය නොදන්නා සාධකයක් වූ අතර කාලයත් සමඟ එය පරීක්ෂා කිරීමට අවශ්‍ය විය. ජර්මානු අධිරාජ්‍යවාදය ඕනෑම සාම ගිවිසුමකදී නව සෝවියට් ආන්ඩුවට දැඩි කොන්දේසි පැනවීමට උත්සාහ කරමින් සිටියේය. මෙම කොන්දේසි ප්‍රතික්ෂේප කළේ නම්, සෝවියට් රජය විනාශ කිරීම සඳහා නව ප්‍රහාරයක් දියත් කිරීමට ජර්මානු හමුදාවට හැකි විය. රුසියානු හමුදාවේ තත්වය නිසා විප්ලවවාදී පදනමක් මත යුද්ධය දිගටම කරගෙන යාමට නොහැකි බව ලෙනින් සහ ට්‍රොට්ස්කි යන දෙදෙනාම එකඟ වූහ.

තීරනාත්මක ප්‍රශ්නය වූයේ ජර්මානු හමුදාවේ තත්වය තක්සේරු කිරීමයි. ට්‍රොට්ස්කි, සාකච්ඡා ප්‍රමාද කිරීම, යුද්ධය අවසන් කිරීම, හමුදාව බලමුලු ගැන්වීම නමුත් ජර්මානු අධිරාජ්‍යවාදය ඉල්ලා සිටි සාම ගිවිසුම අත්සන් නොකිරීම වෙනුවෙන් පෙනී සිටියේය. ජර්මානු හමුදාව ඉදිරියට ගොස් පෙට්‍රොග්‍රෑඩයට තර්ජනය කළහොත් ට්‍රොට්ස්කි සාම ගිවිසුමෙන් පසුබැසීමට හා අත්සන් කිරීමට තර්ක කළේය. ලෙනින් ප්‍රමාදයේ ආස්ථානයකට සහාය දුන් නමුත් ජර්මනියේ අවසාන නිවේදනයක් සම්බන්ධයෙන්, ජර්මනිය ඉල්ලා සිටි ගිවිසුමට වහාම අත්සන් කරන ලෙස ඔහු තර්ක කළේය. නිකොලායි බුකාරින් සහ අනෙකුත් ප්‍රමුඛ බොල්ෂෙවික්වරු “විප්ලවවාදී යුද්ධයක්” පැවැත්වීම සඳහා තර්ක කල අතර, එයට ලෙනින් සහ ට්‍රොට්ස්කි දැඩි ලෙස විරුද්ධ විය. රුසියානු හමුදාවේ පැවති තත්වය අනුව මෙය කළ නොහැකි විය.

කෙසේ වෙතත්, බුකාරින්ගේ ස්ථාවරය බොල්ෂෙවික් පක්ෂය තුළ පුලුල් සහයෝගයක් ලැබීමට සමත් විය. එම තත්වය තුල ප්‍රධාන විවාදය වූයේ ලෙනින් සහ ට්‍රොට්ස්කි අතර නොව “විප්ලවවාදී යුද්ධයක්” සඳහා තර්ක කල බුකාරින්ගේ කණ්ඩායමට එරෙහිව ය. “මගේ ජීවිතය” කෘතිය තුළ ට්‍රොට්ස්කි විසින් නැවත පෙන්නුම් කරනු ලැබුවේ බොල්ෂෙවික් පක්‍ෂයේ රැස්වීමකදී, “විප්ලවවාදී යුද්ධයේ” ආධාරකරුවන් ඡන්ද 32 ක් දිනා ගත් අතර, ලෙනින්ගේ ස්ථාවරය සඳහා ඡන්ද 15 ක් සහ ට්‍රොට්ස්කිගේ ස්ථාවරය සඳහා ඡන්ද 16 ක් ලබා ගත්බවය. ප්‍රායෝගිකව, මධ්‍යම කාරක සභාව සහ පක්‍ෂ සම්මේලනය විසින් අවසානයේ ප්‍රායෝගික වශයෙන් තාවකාලිකව සම්මත කරන ලද්දේ ට්‍රොට්ස්කිගේ ආස්ථානයයි. කෙසේ වෙතත්, සිදුවීම් දිග හැරෙන විට, යම් ප්‍රමාදයකින් පසුව, ජර්මනිය අවසානයේ ප්‍රහාරයක් දියත් කළ අතර ලෙනින්ගේ ආස්ථානය සනාථ කරමින් සාම ගිවිසුමක් සඳහා ඊටත් වඩා නරක කොන්දේසි ඉල්ලා සිටියේය. මෙම පසුබිම තුල 1918 ඔක්තෝබර් 3 වැනි දින පක්‍ෂ නායක රැස්වීමකදී ලෙනින්ගේ ස්ථාවරයේ නිවැරදි බව ට්‍රොට්ස්කි විවෘතව පිළිගත්තේය.

මෙයට ප්‍රතිවිරුද්ධව, ස්ටාලින් 1939 දී Molotov-Ribbentrop ගිවිසුම අත්සන් කිරීමට ගියේය. එය ස්ටාලින්ගේ රුසියාව සහ හිට්ලර්ගේ නාසි පාලනය අතර ආක්‍රමණශීලී නොවන ගිවිසුමක් විය. මෙය ජර්මානු කම්කරු සංවිධාන තලා දැමූ ෆැසිස්ට් පාලන තන්ත්‍රයක් සමග ගිවිසුමක් විය. ගිවිසුම අත්සන් කර සතියකට පසු හිට්ලර් පෝලන්තය ආක්‍රමණය කළේය. දෙවසරකට පසු, හිට්ලර් ස්ටාලින් සමඟ ඇතිකරගත් ගිවිසුම ඉරා දමා සෝවියට් සංගමයේ පාලක නිලධරය පුදුමයට පත් කළේය. ස්ටාලින් විසින් සෝවියට් හමුදාවේ හමුදා ප්‍රධානියා ඉවත් කිරීම ආක්‍රමණයට මුහුණ දීමට ඊටත් වඩා අඩු සූදානමක් ඉතිරි කර තිබුණි.

රතු හමුදා නායකයා

මතු වී තිබෙන සිවිල් යුද්ධ තත්වය යන්නෙන් අදහස් කළේ 1917 ඔක්තෝබර් විප්ලවය යම් කාලයක් ඉතා අනතුරුදායක තත්වයකට මුහුණ දී සිටි බවය. බොල්ෂෙවික්වරු පෙට්‍රොග්‍රෑඩ් සහ මොස්කව් පමණක් අල්ලාගෙන සිටින තත්ත්වයට පත් විය. විප්ලවයේ තොටිල්ල ලෙස හඳුන්වනු ලැබූ පෙට්‍රොග්‍රෑඩය බිම ඇදවැටීමේ අවදානමකට ලක්ව තිබුණි. කසාන් නගරය නැවත අත්පත් කර ගැනීමේ සටන තීරණාත්මක සන්ධිස්ථානයක් විය. සිවිල් යුද්ධයට මුහුණ දීම සඳහා පස්වන හමුදා රෙජිමේන්තුව යලි ගොඩ නැගීම සහ සෝවියට් ආණ්ඩුව රැකගැනීම සඳහා එය සටන් ඒකකයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් ට්‍රොට්ස්කි ඉටු කළ භූමිකාව තීරනාත්මක එකක් විය. අද පවා, සිවිල් යුද්ධය ජය ගැනීමට සහ අධිරාජ්‍යවාදයේ හමුදාවන් පරාජය කිරීමට රතු හමුදාව ගොඩනැගීමේ ට්‍රොට්ස්කිගේ ජයග්‍රහණය පුරාවෘත්තයක් වේ. මිලිටරි කටයුතු පිලිබඳ ට්‍රොට්ස්කිගේ ලේඛන අදටත් ලොව පුරා ධනේශ්වර මිලිටරි ඇකඩමිවල පවා අධ්‍යයනය කෙරේ. ඔහු හමුදා ප්‍රශ්න සහ සිවිල් යුද්ධය ගැන වෙළුම් පහක් ලිවීය. සිවිල් යුද්ධය අතරතුර වසර දෙකහමාරක්, කෙටි කාල පරාසයන් හැර, ට්‍රොට්ස්කි අඩු වැඩි වශයෙන් ජීවත් වූයේ සුප්‍රසිද්ධ “රතු දුම්රියේ” ය. ඔහු තරුණ රතු හමුදාවේ සටන්කාමීන් සහ කාර්ය මණ්ඩලයක් සමඟ එක්ව යුද පෙරමුණු වෙත ගමන් කළේය.

1924 වර්ෂය රුසියාවේ තීරනාත්මක සන්ධිස්ථානයක් වූ අතර එය ලෙනින්ගේ මරණය, දේශපාලන ප්‍රතිවිප්ලවයේ වර්ධනය සහ ස්ටාලින්ගේ චරිතය වටා නිලධර කල්ලිය තහවුරු කිරීම යන කරුණු මගින් සනිටුහන් විය. විප්ලවය හුදකලා වීම, සිවිල් යුද්ධය සහ අධිරාජ්‍යවාදී මැදිහත්වීම නිසා ඇති වූ ආර්ථික විනාශය සහ ගැටුම්වලදී වඩාත්ම කැප වූ පුහුණු බොල්ෂෙවික්වරුන් දහස් ගණනක් අහිමි වීම, මේ සියල්ල සෝවියට් දේශය තුල දේශපාලන ප්‍රතිවිප්ලවයක් මතුවීමටත් අවසානයේ එය ගොඩනැගීමටත් පදනම දැමීය. “එක රටක සමාජවාදය” යන ප්‍රතිගාමී අදහස සම්මත කර ගැනීම සහ ඒ හරහා ඔක්තෝබර් විප්ලවය තුළ අන්තර්ගත වූ පරමාදර්ශ සහ අභිලාෂයන් අත්හැර දැමීම මෙම නිලධාරිවාදී කුලයේ න්‍යායික ප්‍රකාශනය විය. අවසානයේදී කොමියුනිස්ට් ජාත්‍යන්තරය සමාජවාදී විප්ලවයේ ලෝක පක්‍ෂයක් බවට ස්ටැලින්වාදීන් විසින් නිර්වචනය කරන ලදි.

මාඕ සේතුං

ට්‍රොට්ස්කිවාදයට එරෙහි විකෘති කිරීම්

මෙම ප්‍රතිවිප්ලවවාදී ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට නම්, ඔක්තෝම්බර් විප්ලවයේ පරමාදර්ශ ආරක්‍ෂා කිරීම සඳහා දිගටම කටයුතු කළ අය, විශේෂයෙන්ම ලියොන් ට්‍රොට්ස්කි සහ ඔහුගේ ආධාරකරුවන් පලවා හැරීම හා තලා දැමීම අවශ්‍ය විය. ට්‍රොට්ස්කි හා “ට්‍රොට්ස්කිවාදය” හෑල්ලූවට ලක් කිරීමේ ව්‍යාපාරයක් මුදා හරින ලදී. මෙම කාල පරිච්ඡේදය තුළ ට්‍රොට්ස්කිට එරෙහිව කරන ලද ව්‍යාජ චෝදනාවලින් එකක් වූයේ ඔහු ”ගොවි ජනතාව අවතක්සේරු කිරීම”, ”ගොවි ජනතාව නොසලකා හැරීම” හෝ ”ගොවි ජනතාව නොදැක්කා” යන්නයි. මෙම චෝදනා ට්‍රොට්ස්කි විසින් අනුගමනය කරන ලද දේශපාලන ආස්ථානයට කිසිදු සම්බන්ධයක් නොතිබුණි. රුසියාවේ, එකල, ගොවීන්ගේ විශාලත්වය – ජනගහනයෙන් අතිමහත් බහුතරයක් සමන්විත – ජනගහනයේ මෙම කොටස නොසලකා හැරිය නොහැකි බව ඉතා පැහැදිලි කරුණකි. නොනවතින විප්ලවය සහ වෙනත් තැන්වල ඔහුගේ ලේඛනවල ට්‍රොට්ස්කි ගොවීන් සහ එහි විවිධ ස්ථර – දුප්පත් ගොවීන්, මධ්‍යම ස්ථර සහ ධනවත් ගොවි පන්තිය පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණයක් ලබා දුන්නේය. කම්කරු පන්තියට විශේෂයෙන්ම ගොවීන්ගේ දුප්පත් කොටස් සමග සන්ධානයක් ස්ථාපිත කළ හැකි බව ඔහු පැහැදිලි කළේය. කෙසේ වෙතත්, විප්ලවය සඳහා වන එවැනි සන්ධානයක ප්‍රමුඛ හා තීරණාත්මක කාර්යභාරය කම්කරු පන්තිය විසින් ඉටු කළ යුතු බව ද ඔහු දැඩිව අවධාරණය කළේය. මෙයට හේතුව වූයේ සමාජය තුළ එහි පිහිටීම සහ ගොවි පන්තිය තුළ සාමූහික පන්ති විඥ්ඥානය නොමැතිවීම නිසා ගොවීන්ට ස්වාධීන කාර්යභාරයක් ඉටු කිරීමට තිබෙන බාධකය බව ඔහු පෙන්වා දෙන ලදි.

නව පාලන තන්ත්‍රයේ නිලධාරිවාදී පරිහානියේ අන්තරායන් ගැන ලෙනින් දැන සිටියේය. ලෙනින් ඔහුගේ මරණයට පෙර, ඔහු ස්ටාලින්ට විරුද්ධ වීමට සහ නැගී එන නිලධාරිවාදයට එරෙහිව සටන් කිරීමට ට්‍රොට්ස්කි සමග ගිවිසුමක් යෝජනා කළේය. කෙසේ වෙතත්, මෙය බලාත්මක කිරීමට පෙර ලෙනින් දෙවන වර අසනීප වීම (1923 දී ලෙනින් පළමු වරට අසනීප විය) හේතු කොට ගෙන ඔහුගේ ක්‍රියාකාරිත්වය පසුපසට ඇඳ දමනු ලැබීය. 1923 තරම් මුලදී ට්‍රොට්ස්කිට එරෙහි අරගලය සඳහා පසුබිම සූදානම් වෙමින් පැවතුනි. ”ට්‍රොට්ස්කිවාදයට” එරෙහි ව්‍යාපාරයක් දියත් වෙමින් පැවති අතර එය වඩ වඩාත් වේගවත් විය. ට්‍රොට්ස්කි “මයි ලයිෆ්” හි මෙසේ අදහස් දැක්වීය: “පක්ෂ යාන්ත්‍රණය මත ආඥාදායකත්වයකට වඩා අඩු දෙයක් නොවූ අධිකාරී තන්ත්‍රයක් ස්ථාපිත විය. වෙනත් වචන වලින් කිවහොත් නිරෝගි පක්ෂයක් ලෙස කටයුතු කිරීම නතර විය.

1925 වන විට, ට්‍රොට්ස්කි මහජන යුද කොමසාරිස්වරයා ලෙස ඔහුගේ රාජකාරිවලින් ඉල්ලා අස් වූ අතර ස්ටැලින්ගේ පාලන තන්ත්‍රය විසින් ඔහුගේ වගකීම් වලින් වඩ වඩාත් පසෙකට වී සිටියේය. එක් රටක සමාජවාදය පිළිබඳ ප්‍රතිගාමී අදහස විනාශකාරී ප්‍රතිවිපාක ගෙන දෙමින් තිබුණි. බොල්ෂෙවික්වාදයේ හොඳම සම්ප්‍රදායන් චීන විප්ලවය විසින් මතු කරන අතරතුර ස්ටාලින්ගේ සාපරාධී හා මරණීය ප්‍රතිපත්තියෙන් එය පාගා දමන ලදී. චීන කොමියුනිස්ට් පක්‍ෂයට හා එහි කැමැත්ත යටපත් කර ධනේශ්වර කුවෝමින්ටෑං හා බැඳීමටත් එහි මිලිටරි විනයට යටත් වීමටත් ස්ටැලින් විසින් බල කෙරුනි. සෝවියට් දේශය චීන දේශය තුල නිර්මාණය කිරීම තහනම් විය. 1927 අප්‍රේල් මාසයේදී, ස්ටාලින් අඛන්ඩව චියැං කායි-ෂෙක් සහ කුඕමින්ටෑං සමඟ හවුල් සභාග ප්‍රතිපත්තිය ආරක්ෂා කළේය. ඉන් දින කිහිපයකට පසු චියැං කායි-ෂෙක් ෂැංහයි කම්කරුවන් සහ කොමියුනිස්ට් පක්ෂය ලෙයින් ගිල්වා දැමුවේය. මෙය සිදුවූයේ 1923 දී ජර්මානු විප්ලවයේ පරාජයන් සහ 1926 දී බි්‍රතාන්‍යයේ මහා වැඩ වර්ජනයෙන් පසුවය. ජාත්‍යන්තර වශයෙන් මතුවූ දුෂ්කර තත්වය ස්ටාලින්ගේ නව ආඥ්ඥාදායක තන්ත්‍රයට සිය ස්ථාවරය තහවුරු කර ගැනීමට උපකාර විය.

ස්ටාලින් විසින් ට්‍රොට්ස්කි අභ්‍යන්තර පිටුවහලකට, එනම් 1927 දී, මොස්කව් සිට හැකිතාක් දුරින් පිහිටි චීන දේශ සීමාවේ ආසන්නව පිහිටි අල්මා අටා වෙත ගෙන ගියේය. එහෙත් එයින් පවා සෑහීමකටපත් නොවූ ස්ටාලින් තම පාලන තන්ත්‍රයට එරෙහිව “ට්‍රොට්ස්කිවාදී” අභියෝගය ඉවත් කිරීමට කටයුතු කළේය. ට්‍රොට්ස්කිගේ සහ වාම විපක්ෂයේ ආධාරකරුවන් දහස් ගණනක් සිරගත කර මරා දැමීමට නියමිතව තිබුණි. අනතුරුව ට්‍රොට්ස්කි 1929 දී සෝවියට් සංගමයෙන් නෙරපා හරින ලදී. පිටුවහල් කිරීමකට තල්ලු වී යලිත් වරක් ඔහු මුලින් තුර්කියේ පසුව නෝර්වේ හි පදිංචි විය. වීසා සඳහා අයදුම් කිරීම, රටින් රට ඔහුව ප්‍රතික්ෂේප කළේය. අවසානයේදී, මෙක්සිකෝවේ ලාසාරෝ කාර්ඩෙනස්ගේ වාම ජනතාවාදී ආණ්ඩුව ට්‍රොට්ස්කිට සහ ඔහුගේ බිරිඳ නටාලියාට නවාතැන් දුන්නේය. මෙය පවා ස්ටාලින්ට ඔරොත්තු දුන්නේ නැත. පුද්ගලික පළිගැනීමේ ක්‍රියාවන්හිදී, වාම විපක්‍ෂයේ ක්‍රියාකාරීව පිටුවහලේ සිටි ට්‍රොට්ස්කිගේ පුත් ලෙව් සහ සෝවියට් සංගමය තුල තවදුරටත් රැඳී සිටිමින් දේශපාලනයේ කිසිදු ක්‍රියාකාරිකයෙකු නොවූ සර්ජි ඝාතනය කිරීමට පවා ස්ටාලින් නියෝග කළේය.

මෙක්සිකෝවේ සිටිමින් ට්‍රොට්ස්කි ඔහුගේ විප්ලවවාදී වැඩ දිගටම කරගෙන ගියේය. මාක්ස්වාදී ව්‍යාපාරය යලි ගොඩ නැගීම අරමුනු කරගනිමින් එය ඉටු කිරිම ට්‍රොට්ස්කි මෙය ඔහුගේ වැදගත්ම කාර්යය ලෙස සැලකුවේය. 1933 දී ජර්මනියේ හිට්ලර් බලයට පත්වීමත්, ජර්මානු හා ජාත්‍යන්තර කම්කරු ව්‍යාපාරයට එරෙහි වූ මෙම ව්‍යසනය හරහා මුහුණ දුන් දැවැන්ත පරාජයට හේතු වූයේ ස්ටාලින් විසින් පනවන ලද වැරදි ප්‍රතිපත්ති වලට එරෙහිව කොමින්ටර්න් (3 වන ජාත්‍යන්තරය) එක තුල තීරනාත්මක ප්‍රතික්‍රියාවක් අවුලුවාලීමට අපොහොසත් වීමයි. මේ හේතුව නිසා ට්‍රොට්ස්කි 4 වැනි ජාත්‍යන්තරය පිහිටුවීම සඳහා ආරම්භක පියවර ගත්තේය. මෙම වැදගත් පියවරේ කොටසක් ලෙස ට්‍රොට්ස්කි සංක්‍රමණිය ක්‍රියාමාර්ගය නම්වූ ඵෙතිහාසික ලියවිල්ල ඉදිරිපත් කරන ලදි.

ට්‍රොට්ස්කිගේ අදහස් සදාඅමරණීයයි

1936-1938 අතර, ස්ටාලින් සෝවියට් සංගමය තුල ඔහුගේ දුෂ්ට සංදර්ශන අත්හදා බැලීම් මුදා හැරියේය, විශේෂයෙන් වාම විපක්‍ෂයට එරෙහිව මර්ධනය මුදාහරින ලදි. වාම විරුද්ධවාදීන් දහස් ගණනක් වටකර, පහර දී, වධ හිංසා පමුණුවන ලදී. ඪදරනමඒ හිදී වාම විපක්ෂයේ තරුණ ආධාරකරුවන් සියගණනක් තම මරණය දක්වාම නොබියව හා නිර්භීතව ජාත්‍යන්තරය ගීය ගායනා කරමින්, වාම විපක්ෂයේ අදහස් අත්හැරීමට ඔවුන්ට කළ බලපෑම් ප්‍රතික්ෂේප කළහ.

මෙක්සිකෝවේ සිට ට්‍රොට්ස්කි සිය දේශපාලන න්‍යායික පදනම ආරක්ෂා කිරීමට සහ නව ජාත්‍යන්තර සංවිධානයක් ගොඩනැගීමට වෙහෙස මහන්සි වී වැඩ කළේය. වර්තමානයේ විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීම සඳහා බොහෝ පාඩම් ඇති වැදගත් දේශපාලන සටනක් වන එවකට ඇමරිකා එක්සත් ජනපදයේ 4 වන ජාත්‍යන්තරයේ පක්‍ෂය වූ සමාජවාදී කම්කරු පක්‍ෂය (SWP) තුල පැවති අරගලයට ඔහු ජීවමානව සහභාගී විය. මෙම ආරවුල කේන්ද්‍රගත වූයේ සෝවියට් සංගමයේ පන්ති ස්වභාවය පිලිබඳ ප්‍රශ්නය, මාක්ස්වාදී න්‍යාය සහ විප්ලවවාදී පක්ෂය සංවිධිත කම්කරු පන්තිය දෙසට නැඹුරු වීම පිලිබඳ තීරනාත්මක ප්‍රශ්න සම්බන්ධයෙනි. කම්කරු ජාත්‍යන්තර කමිටුවේ (CWI) අරගල සහ ක්‍රියාකාරකම් ට්‍රොට්ස්කිවාදී මෙම න්‍යායික ඉගැන්වීම් මත ඉදිරියට පවත්වාගෙන යනු ලබයි.

ට්‍රොට්ස්කිගේ අදහස් හා ක්‍රමවේදවල සාරය අධ්‍යයනය කිරීම මානව වර්ගයාගේ එකම අනාගතය ලෙස නව සමාජවාදී ලෝකයක් ගොඩනැඟීම සඳහා සටන් කරන නව පරම්පරාවේ විප්ලවවාදී සමාජවාදීන් සඳහා අත්‍යවශ්‍ය දේශපාලන ආයුධයක් වන්නේය. එම අරගලය සමඟ කම්කරුවන්ට සහ තරුනයින්ට සහාය වීම සඳහා, මෙම මහා විප්ලවවාදියාගේ ඝාතනයේ අසූතුන්වන සංවත්සරය අප සමරන විට, CWI විසින් ට්‍රොට්ස්කිගේ අදහස්වල තීරනාත්මක පැති පිලිබඳ මෙම ගැඹුරු ලිපි එකතුව ප්‍රකාශයට පත් කරයි.

About Taniya

Scroll To Top