Home / Articles / ඉතිහාසය විකෘති කෙරෙන සුදත්ගේ ත්‍රස්තවාදි ”විප්ලවවාදීයෙකුගේ” අලුත් කතාව

ඉතිහාසය විකෘති කෙරෙන සුදත්ගේ ත්‍රස්තවාදි ”විප්ලවවාදීයෙකුගේ” අලුත් කතාව

ඉතිහාසය විකෘති කෙරෙන සුදත්ගේ ත්‍රස්තවාදි

”විප්ලවවාදීයෙකුගේ” අලුත් කතාව

බොහෝ කලකට පසු මේ දිනවල තැන තැන සුදත් මහාදිවුල්වැවගේ ”මයි රෙඩ් කොම්රෙඩ්” නමින් එළි දක්වන අලුත්ම සිනමා කෘතිය ගැන විශිෂ්ට ඇගයුම් කෙරෙනවා ඇසුවෙමි, කියෙව්වෙමි, ”වෙනස් සිනමාවක් සොයන අපේ කාලයේ සිනමා ප්‍රේක්ෂකාගාරයට” යැයි සුදත් විසින් ඇලවූ හැඳින්වීමක් සමගින් වන විද්‍යුත් දැන්වීමක්ද කවුරුන් හෝ මට එවා තිබිණ. එම චිත්‍රපටයේ මංගල දර්ශනයට මට ආරාධනා නොකළත් එදින එම චිත්‍රපටය නරඹා එය විවරණය කරන බොහෝ දෙනෙකුට වඩා කිහිපවර එය තියුණු ලෙස කියවා ගැනීමට මට අවස්ථාවක් ලැබුණි. එහි ඉංග්‍රීසි උප සිරැසි යෙදීම මට බාර කෙරුණු හෙයිනි.

චිත්‍රපටය ගැන කතාවට යාමට පෙර උප සිරැසි ගැන යමක් කිව යුතු යැයි සිතුවෙමි. සුදත් සමග වන දීර්ග දැන හැඳුනුම්කම හේතුවෙන් ඔහුට කරන උදව්වක් වශයෙන් එහි පිටපතවත් නොදැක ඉංග්‍රීසි උප සිරැසි යෙදීම මම බාර ගත්තේ එය ඉතා හදිසි කාර්යක් යැයි සුදත් කියූ නිසාය. එහෙත් තිර පිටපත කියවූ පසු එය කිරීමේ කිසිදු කැමැත්තක් නොවූවත් සුදත්ට දුන් පොරොන්දුව මත එම කාර්ය මගෙන් සිදු වූයේ මහා අපුලක් සමගින්ය. එනිසා උප සිරැසි සම්බන්ධව මගේ නම නොයොදන මෙන් මම ඉල්ලුවෙමි. එහෙත් මගේ නම එහි සඳහන්ව ඇතැයි මංගල දර්ශනයට ආරාධනා ලැබූ කිහිප දෙනෙකු මට කීහ.

මේ චිත්‍රපටය ගැන ආරම්භයේදීම කිව යුත්තේ ඉතිහාසය අර්ථ දැක්වීම එකකිග ඉතිහාසය විකෘති කිරීම වෙනකකි. කලාවටල තම කලා භාවිතයට අවංකයෙකු වන කිසිවකු විසින් ඉතිහාසය විකෘති කිරීම නොකරන්නකිග සුදත් ඔහුගේ නවතම චිත්‍රපටය සඳහා තෝරා ගෙන ඇත්තේ මෙරට දේශපාලන ඉතිහාසයෙහි ජ.වි.පෙ මුල් වූ 1987 – 1990 කාලයේ සිංහල ජනතාව මත මුදා හැරුණු ලේ වැකි ම්ලේච්ඡ තිරිසන් ත්‍රස්තවාදී පසුබිමය. ඒ ම්ලේච්ඡල සන්නද්ධ ත්‍රස්තවාදය පිළිබඳව සුදත්ට ඔහුගේම වූ දේශපාලන අර්ථකතනයක් තිබිය හැකිය. එහෙත් ජ.වි.පෙ මුල් වූ ම්ලේච්ඡත්වයක් මෘග තිරිසන් ත්‍රස්තවාදයක් එකල නොතිබුණේ යැයි එය වසන් කළ නොහැක. සුදත් ඔහුගේ ”මයි රෙඩ් කොම්රෙඩ්” චිත්‍රපටයෙන් කතා කරන්නේ එවැනි කිසිදු ම්ලේච්ඡ ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවුනු සුපිරි වාම විප්ලවවාදී දේශපාලන පසුබිමක් නිර්මාණය කරගෙනය.

ඒනයින් සුදත් මේ චිත්‍රපටයෙන් ඒ භීෂණ ඉතිහාසය සහමුලින් විකෘති කර ඇත. මේ රටේ විවෘත දේශපාලන කතිකාවල හා ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන්හි පමණක් නොවල විදේශ මානව හිමිකම් සංවිධාන පවා දේශප්‍රේමයේ නාමයෙන් ඒ වසර කිහිපයේ ජ.වි.පෙ මුදා හැරි සන්නද්ධ මෘග ප්‍රචණ්ඩත්වය හඳුන්වනු ලැබූයේ ”ත්‍රස්තවාදය” යන පැහැදිලි වර්ග කිරීම සමගින්ය. රාජ්‍ය ආරක්ෂක සේවාවන්ගෙන් සිදුවූ තරුණ ඝාතන හමුවේ ඒ ජ.වි.පෙ සන්නද්ධ ත්‍රස්තවාදය, ”විප්ලවවාදී” හෝ ”විමුක්තිකාමී” දේශපාලනයක් වන්නේ නැත. කිසිදු කාරණාවක් නිසා මිනිසුන් ඝාතනය කිරීමට රාජ්‍ය ආරක්ෂක සේවාවන්ට යැයි කිසිදු අවසරයක් නොමැත. ඒ ගැන මොනයම්ම හෝ වාදයක් නැත. එහෙත් මේ ත්‍රස්තවාදී කැරැල්ලෙහි රාජ්‍ය ආරක්ෂක සේවාවන් විසින් අනීතික තරුණ ඝාතන ආරම්භ කෙරෙන්නේ ජවිපෙ විසින් 1986 දෙසැම්බරයේදී කොළඹ විශ්ව විද්‍යාලයයෙහි ස්වාධීන ශිෂ්‍ය නායක දයා පතිරණ පැහැරගෙන ගොස් ඝාතනය කිරීමෙන් වසර දෙකකට පමණ පසුවය. 1987 අගෝස්තු 18 වන දින ජවිපෙ ත්‍රස්තවාදීන් විසින් පාර්ලිමේන්තුවට ග්‍රෙනේඩ් ගසා වසරකට පමණ පසුවය. රාජ්‍ය ආරක්ෂක සේවාවන් පාරට බසින්නේ ජවිපෙ දියත් කළ ඒ මෘග ත්‍රස්තවාදයට පිළිතුරු වශයෙනි.

ඒ වසර කිහිපයේ සිංහල සමාජය බිලිගත් ම්ලේච්ඡ තිරිසන් ”සිංහල දේශප්‍රේමී ත්‍රස්තවාදය” ගැන කිසිදු සඳහනක් නොමැතිව සුදත් ලියා ඇති තිරපටයෙහි ”රෙඩ් කොම්රෙඩ්” විප්ලවවාදියෙකු ලෙස ඉදිරිපත් කිරීමෙන් ඒ යුගයේ අත්දැකීම් නොමැති, තොරතුරු නොදන්නා අලුත් පරම්පරාවට සුදත් කරන්නේ විශාල හතුරු කමකි. ඒ වසර කිහිපයෙහි ”දේශප්‍රේමි ජාතික ව්‍යාපාරය” නමින් ජවිපෙ දියත් කළ මිනිස් ඝාතන රැල්ලෙහි ගොදුරු වූයේ සාමාන්‍ය සිවිල් පුරවැසියන් යැයි නොකීමෙන් සිනමාකරුවකු ලෙස සුදත් අලුත් පරම්පරාවට කරන්නේ මහා අපරාධයකි. ඒ වසරවල ඝාතනය කෙරුණේ ජවිපෙ තුණ්ඩු කෑල්ලට අවනත නොවුනු සාමාන්‍ය මිනිසුන්ය. ඔවුන් ඡන්දය වර්ජනය කරන්නට යැයි කියූ පසු ඡන්දය දීමට ගියවුන්ය. ගමේ පාසල්වල ”කොළඹට කිරි – අපට කැකිරි” යැයි පෙළපාලි යාමට ඉඩ නොදුන් ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ය. ඔවුන් කඩ වසන්නට යැයි කියූ විට හමුදා අණට යටත්ව කඩ වැසීමට නොහැකිව අසරණවූ ගමේ කඩකාරයින්ය. ඔවුන්ගේ ඉන්දියන් විරෝධය වෙනුවෙන් කොත්තමල්ලිල බොම්බයි ළුණු වර්ජනයට හවුල් නොවුනු ගමේ මුදලාලිය. ඔවුන්ගේ සත්‍යග්‍රහ සඳහා සහාය නොවුනු වෘත්තීය සමිති ක්‍රියාකාරීන්ය. පළාත් සභා අනුමත කළ වාමගාමී ප්‍රාදේශීය ක්‍රියාකාරීන්ය. රාජ්‍ය මර්දනයේ කොතැනකටවත් කිසිදු සම්බන්ධයක් නොතිබූ සාමාන්‍ය සිවිල් පුරවැසියන්ය. සුදත් ඔහුගේ මේ චිත්‍රපටයෙහි ජවිපෙ විසින් කළ ඒ තිරිසන් ඝාතන සියල්ල සහමුලින් මකා ඇත්තේ නොදැන නොවේ යැයි මම කියමි. එය තමන්ගේ අප්‍රකාශිත න්‍යාය පත්‍රයට අවශ්‍ය වූයෙන් කෙරුවකැයිද මම කියමි.

එබැවින් හමුදා සොල්දාදුවන් අත තිබූ පෙට්‍රල් අවසන් වූයෙන් ජීවිතය බේරුණේ යැයි කියා සුදත් වීරත්වයක් ලබා දෙන්නට හදනල ”මයි රෙඩ් කොම්රෙඩ්” කියා නිර්ලජ්ජිතව ඔසවා තබන්නට හදන නිවට ත්‍රස්තවාදියා, පොහොද්දරමුල්ලේ ප්‍රේමාලෝක හාමුදුරුවෝ, කොටිකාවත්තේ සද්ධාතිස්ස හාමුදුරුවෝ, කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර, මොරටුව විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය චන්ද්‍රරත්න පටුවතවිතාන, ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ නායක හා 80 වර්ජනයේ වෘත්තීය සමිති ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු L.W. පණ්ඩිත, ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමයේ සභාපති ජෝර්ජ් රත්නායක, එහි හිටපු භාණ්ඩාගාරික උපාලි විතානගේ, රජයේ මුද්‍රණාලයේ වෘත්තීය සමිති ලේකම් පී.ඩි. විමලසේන, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පළමු කාන්තා අධ්‍යක්ෂ හා රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිනි වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධන, වරාය අධිකාරියේ ප්‍රධාන ඉංජිනේරු D.C.අතුකෝරළ, සමස්ථ ලංකා ගොවි සම්මේලනයේ වාරියපොළ ක්‍රියාකාරී ඇතුගල, 1971 පළමු ජවිපෙ කැරැල්ලේ ප්‍රධාන ක්‍රියාකාරිකයෙකුවූ සහ පසුව ස්වාධීන සංස්කෘතික ක්‍රියාකාරිකයෙකු වූ අනුරාධපුර පොළෙහි සපත්තු සෙරෙප්පු අලෙවි කළ නන්දන මාරසිංහ, ශ්‍රී ලංකා ජාතික රූපවාහිනියේ ප්‍රධාන ප්‍රවෘත්ති සංස්කාරක කේ. අමරතුංගල ”කම්කරු මාවත” පුවත් පත අලෙවි කළ 80‘ වැඩ වර්ජක ඌවපරණගම, රන්හවඩිගම නැටුම් ගුරුවරයෙකු වූ R.D.පිටවල වැනි පුද්ගල ඝාතන සිය ගණනකට වගකිව යුතු තිරිසන් ත්‍රස්තවාදීන් අතුරින් එක් කෙනෙකු පමණය.

ජවිපෙ නායකයින් විවෘතවල පැහැදිලිව මේ ඝාතන සඳහා වගකීම් බාර නොගෙන එදා සිදුවූ ඇතැම් සිදුවීම් ගැන තමන් කණගාටුවන බැව් කියූ පමණින් සුදත්ගේ චිත්‍රපටයේ ”වීරයා” මිනිස් ඝාතන නොකෙරූ හා ඒවාට වග කිව නොයුතු පිරිසිදු විප්ලවවාදියෙකු වන්නේ නැත. වර්තමානයේ ප්‍රසිද්ධ පුවත් පතකට ලිපි ලියන සුදත්ගේ ”රෙඩ් කොම්රෙඩ්” විප්ලවවාදියාගේ ”ආණ්ඩු විරෝධය” සමග ඔහු රහස්‍ය ජීවිතයක් ගත කරන්නේ යැයි කීමෙන් ”රෙඩ් කොම්රෙඩ්” යෝධ විප්ලවවාදියෙකු වන්නේද නැත. ප්‍රසිද්ධ මාධ්‍යයට මොන නමකින් ලියූවත් ඒවා පළ කෙරෙන්නේ පවතින නීති යටතේවන නිසාම, ලියන්නා හැංගී සිටීම විකාරයක් බැව් අනාදිමත් කාලෙක විමල් වීරවංශ ඇතුළු ජවිපෙ කල්ලියක් සමග පුවත්පතකට සම්බන්ධව සිටියෙකු ලෙස සුදත් දත යුතුය. ජනාධිපතිට, අගමැතිට, ඇමතිවරුන්ට විරුද්ධව පාරට බැස සටන්පාඨ කිව හැක්කේ මේ සමාජයේ තවමත් ප්‍රජාන්ත්‍රවාදයක් ඉතිරිව තිබෙන බැවින්ය. අත් අඩංගුවට ගත හැක්කේ ”රාජ්‍ය විරෝධී” ක්‍රියාවලට මිස ආණ්ඩු විරෝධයකට නොවේ. එහෙත් සුදත් ඔහුගේ රෙඩ් කොම්රෙඩ්ව අද නිර්මාණය කරන්නේ ආණ්ඩුවට එරෙහිව ප්‍රසිද්ධ ලිපි යන්නට රහස්‍ය ජීවිතයක් ගත කරන විප්ලවවාදියෙකු ලෙසින්ය. ඒ සමගින් සුදත් ඔහුගේ ”මයි රෙඩ් කොම්රෙඩ්” විකටයෙකු කර හමාරය.

එවගේම, රාත්‍රි කාලයේ වැස්සක්ද සමගින් පොලීසියෙන් හඹා එද්දී නොදන්නා මුඩුක්කු වත්තක, නොදන්නා අයෙකුගේ මුඩුක්කු කාමරයකට බලෙන් මෙන් රිංගා ගන්නා තරුණියගේ චරිතය අතිශය ප්‍රබුද්ධ චරිතයක් ලෙස ඉදිරිපත් කරන්නට සුදත් ගන්නා උත්සාහය සමගින් ඔහු ”මගේ රතු සහෝදරයා” යැයි නිර්මාණය කරන විප්ලවවාදී නායක චරිතය ද්විතියික චරිතයක් බවට පත් කරන්නේය. තාත්තාගේ රුසියන් සාහිත්‍ය පොත් කට පාඩම් කරගත් මේ තරුණිය සුදත් නිර්මාණය කර ඇත්තේ, පුවත් පතකට ලිපි ලියා ආණ්ඩු පෙරලන්නට හැකියැයි සිතමින් සැඟවී ඉන්නා විප්ලවවාදියාට වඩා දැනුම් තේරුම් ඇති කාන්තා චරිතයක් ලෙසින්ය.

”මයි රෙඩ් කොම්රෙඩ්” චිත්‍රපටයෙහි සුදත් මෙරට ඉතිහාසය බරපතල ලෙස විකෘති කරමින් වීර ආදර්ශමත් චරිත ලෙස ඉදිරිපත් කරන දෙන්නාගෙන් ඔහු නිළියට ලබා දී ඇති දෙබස් වලින් කෙරෙන්නේද ඒ කාර්යම ය. ”සංස්කෘතික මිනිසෙකුට විතරයි පුළුවන් අළුත් හීන දකින්න…….අලුත් හීන හොයන්න………අලුත් හීන හදන්න……….අලුත් හීන නැති මිනිස්සු ගොඩාක් දුප්පත්” යැයි ඇය ඔහුට කියන්නීය. ඇය රෙඩ් කොම්රෙඩ්ගෙන් බලාපොරොත්තු වන්නේ සංස්කෘතික මිනිසුන්ගේ සමාජක් හැදීමේ කාර්ය වන්නේය. එහෙත් ”සංස්කෘතික මිනිසකු” පිළිබඳ සංකල්පය, මා මීට දසකයකටත් ඉහතින් ඉදිරිපත් කෙරුවේ, ම්ලේච්ඡ තිරිසන් ත්‍රස්තවාදී ව්‍යාපාරයක නෂ්ඨාවශේෂ අතරින් බිහි විය හැකි දේශපාලනයක් ලෙස නොවේ. එය මා ඉදිරිපත් කෙරුවේ අඩාලවන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක නව විකල්ප සොයන්නාවූ සංවාදයක දියුණු නූතනවාදී සමාජ ආර්ථික සංවර්ධනයක් වෙනුවෙන් අප කතා කළ යුතු සංකල්පයක් වශයෙනි. එය සුදත් ඔහුගේ ”මයි රෙඩ් කොම්රෙඩ්” චිත්‍රපටයට අමුණා ගැනීමෙන් සිදුවන්නේ ”සංස්කෘතික මිනිසා” ම්ලේච්ඡ මෘග සංස්කෘතියක බිහිවන මිනිසකු වීමය.

අවසන් වශයෙන් මෙයද කිව යුතුය. සිනමාවක් යැයි මා තේරුම් ගත් කලා නිර්මාණවල රූප පෙළ මූලිකය. ප්‍රධානය. සිනමා කෘතියක් යනු රූපමය කාව්‍යයකි. දෙබස්ල පසුබිම් ගීත, සංගීතය, ශබ්ද හා නිහැඬියාව යොදා ගැනෙන්නේ ඒ රූප රාමුවල ප්‍රකාශනය අවධාරණය කිරීමටල තීව්‍ර කිරීමට අවශ්‍ය වුවහොත් සහ ඒ වෙනුවෙන්ය. නිහඬ සිනමා හැදූ අතීතයේ අතිශය කලාත්මක සිනමා කෘති ඇත්තේ සිනමාව රූපමය මාධ්‍යයක් වන හෙයිනි. ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ ”ද ලොජ්” නිහඬ සිනමාව තවමත් අතිශය සාර්ථක චිත්‍රපටයක් ලෙස ගණන් හැදෙන්නේ එහි රූප රාමු හා නළු නිළි රංගණය විසින් ඉදිරිපත් කරන ප්‍රබල කතාව හේතුවෙනි. කාල් තියඩෝ ඩේ‍රය ගේ ”පැෂන් ඔෆ් ජොආන් ආක්” නිහඬ චිත්‍රපටයෙහි කලාත්මක අගය තවමත් අභියෝගයට ලක් නොවුනකි.

එහෙත් ”මයි රෙඩ් කොම්රෙඩ්” චිත්‍රපටය සුදත් රඳවා ඇත්තේ ගුවන් විදුලි නාටකයක මෙන් දෙබස් මත ය. එහි කැමරාකරණය ගැන කතා කළ හැකිය. එහෙත් එහි රූප පෙළ කතාවට අනිවාර්ය නැත. සුදත්ගේ කතාවට දෙබස් අනිවාර්ය වන අතර, රූපකරණය ඒ දෙබස් සඳහා අත්වැලක් පමණි. අවංකවම කියන්නේ නම්, ඉංග්‍රීසි උප සිරැසි යෙදීමේදී දෙබස් මතින් ගොඩ නගන මෙවැනි සිනමා කෘතියකට රූප රාමු කුමකටදැයි මට සිතුණු වාර අපමණය. මෙහි සමස්ථ කතාවම කියවා ගැනීමට දෙබස් ප්‍රමාණවත්ය. මෙහි නළුවාට හා නිළියට රඟ පෑමේ අභියෝගයක් ඇත්තේද නැත. ඔවුන්ට ඇත්තේ ගුවන් විදුලි නාටකයක මෙන් නිවැරදිව, අවශ්‍ය පරිදි ආවේගයන් සමගින් දෙබස් කීමේ වගකීමක් පමණි. මෙය අලුත් ආරේ සිනමාවක්දැයි නොදනිමි. චිත්‍රපට ආර කවරක් වූවත් ඉතිහාසය විකෘත කරන්නට එය අවසරයක් නොවේ. සුදත් මහාදිවුල්වැව වාම විප්ලවවාදී විකල්පය යැයි ත්‍රස්තවාදී තිරිසන් දේශපාලනයක් වත්මන් සමාජයට ඉදිරිපත් කරන මේ චිත්‍රපටය කර තබා නොගත යුත්තකි. සුදත්ගේ න්‍යාය පත්‍රයට ගැලපුනද මෙය ම්ලේච්ඡ තිරිසන් දේශපාලකයින්ට ශිෂ්ට සමාජයක් හැදිය හැකි යැයි සුන්දර හීන මවන්නක් පමණි.

කුසල් පෙරේරා
2024 මැයි 09

About Taniya

Scroll To Top